Skip to content

ටී.එම් ජයරත්න Reggae සින්දු කියල තියෙනවද… ?

November 25, 2011

අප්පේ… මේ බ්ලොගේ මකුළු දැල් බැඳිල පුස් කාල යන්න නොදී මුකුත් ලියන්න ඕනැ කියල හිත හිතා හිටියත් පහුගිය දවස් වල නෙට් එකේ ගත කරන්න ලැබුණ වෙලාව බ්ලොග් ලියනව වෙනුවට බ්ලොග් කියවන්න යෙදෙව්ව නිසා ලිවිල්ල අමතක වෙලාම ගියා…

ඒවයින් කාරි නෑ… අදත් පොඩි ආගිය කතාවක් එක්ක ගීතයක් ගැන පොඩි සටහනක් දාන්නයි හදන්නෙ…

ඊයෙ හවස දුකා මැසේජ් එකක් එවල තිබුණ හවස වැඩක් නැත්නම් කයියක් ගහන්න සෙට් වෙමුද… හද ගී පොත ලියන තිස්ස අයියත් මේ දවස් ටිකේ පොඩි වැඩකට ඩුබායි ඇවිත් නැවතිලා ඉන්නෙ මම ඉන්න කිට්ටුවමයි කියල කට්ටිය හවස හම්බ වෙන්න දා ගත්ත…

මම හවස යනකොටත් දුකායි , තිස්ස අයියයි , රුචක මල්ලියි මුණ ගැහිල ෂොපිං හෙම කරල හිටියෙ… මම ඊයෙ තමා තිස්ස අයියව මුලින්ම මුණගැහුනෙත්… විහිළුවෙන් තහලුවෙන් කෑමට වාඩි වෙන ගමන්ම නොයෙක් දේවල් ගැන කතාව කෙරීගන ගියා…

තිස්ස අයිය ඉන්න තැනක ඉතින් කතාව සිංහල ගීත පැත්තට හැරෙන එක අහන්න දෙයක් නෑනෙ…ඉතින් අපිත් ගීත ගැන, ගායක ගායිකාවො ගැන නොයෙක් දේ කතා කළා…

තිස්ස අයිය කියපු එක වැදගත් දෙයක් තමා ගීත රසවිඳින, ගීත විචාර කරන අය ගීතය මුළුමනින්ම එක නිර්මාණයක් හැටියට අරන් රස විඳිනව මිසක්, ඒකෙ තැන් තැන් වලින් වචන වලින් අරන් විග්‍රහ කරන්න යන එක විකාරයක් බව…

දැන් මේක ලියන්න ගත්තම.. එහෙම ගීත කෑලි වලින් අල්ල ගැනීම ගැන මට පොඩි විහිළු කතාවක් මතක් වුණා…

නිවේදක :   ඔබට ඉතාම දුක්බර හැඟීම් සිතට දනවන ගීතයක් තියෙනවද..?

අසන්නා :   ඔව්, “මලේ හැන්දෑවේ වහින වෙලාවේ..” කියන ගීතය.

නිවේදක :   ඒත් , ඒක දුක් ගීතයක් නොවෙයි නේද ?

අසන්නා :   මෙහෙමයි… මාව කුඩා කාලෙ ඉඳන් බලාගත්තෙ මගේ සීය,… සීයට මම හරි                      ආදරෙයි…. ඉතින් අපේ සීය මළේ හැන්දෑවෙ වහින වෙලාවකනෙ…!

                                      ………………………………………………….

ආපහු ආගිය කතාවට… ඉතින් අපේ කතාව කෙරීගෙන ගියා, අතරින් පතර රුචක මල්ලිගෙ “විමර්ශනාත්මක” , “ගැඹුරු”, “ශාස්ත්‍රීය” ප්‍රශ්න වලින් සාකච්ඡාවෙ මායිම් පුළුල් වුණා…

ඔය අතරෙ තමා ටී එම් ගැන කතාව ආවෙ… දුකායි මමයි අදහසක් ඉදිරිපත් කළා ටී එම් කොයිතරම් වටිනා කටහඬක් තියෙන දක්ෂ ගායකයෙක්ද, ඒත් එකම ආරක ගීත නේද ඔහු ගායනා කරල තියෙන්නෙ කියල…

එහකොට තිසා දක්වපු අදහස නිසා තමා අද මේ පෝස්ට් එක ලියන්න හේතුවුන නිමිත්ත ලැබුණෙ…

“මල්ලි , ඔතන වෙලා තියෙන්නෙ මේකයි අපිට අස්සවල තියෙන්නෙත්, අපි දිගටම අහන්නෙත් , “රත්තරන් නෙත් දෙකින්”…, “කෝ මාපැතූ”…, වගේ එකම විදිහෙ සිංදු, ඒ නිසා අපිට තේරෙන්නෙ ටී එම් ඔය බොක්ස් ගිටාර් එක ප්‍රමුඛව ඇහෙන එකම විදිහෙ සිංදු විතරයි කියල තියෙන්නෙ කියල… ඒත් අපි නිතර නොඅහන ටී එම් ගෙ වෙනස් ගීත තියෙනව”… කියන අදහස තමයි තිසා කිව්වෙ…

පස්සෙ රෑ ගෙදර ඇවිල්ල මම නිකමට ටී එම් ගෙ අපි නිතර අහන්නෙ නැති ගීත මොනවද කියල බලල කීපයක් ඇහුව… එතකොට තමයි මේ ගීත හම්බ වුණේ…

කැමති අයට අහන්න ගීත දෙකක් ඉස්සෙල්ල දානව, කතාවට අදාළ ගීතයට එන්න කලින්…

ලොව බිහි වූ දා පටන්…

ශාන්ති කර්මයක් කරල පෙම්වතුන්ට වේදනා ඇති නොවේවා කියල ප්‍රාර්ථනා කරනව වගේ අදහසක් දෙන මේ ගීතයෙ තනුවෙ සහ සංගීතයෙ තියෙන අපේ සාම්ප්‍රදායික ශාන්තිකර්ම වල නාද රටා ඔබටත් ඇහෙනවාද බලන්න…



නෙතු පියමි සිහිනයක…

ටී එම් ගෙ කටහඬේ ආධිපත්‍යය උපරිමෙන්ම තියෙන අපූරු ගීතයක් වන මේ ගීතයෙ අතුරු සංගීත කොටස් වලට සවන් දෙන්න , බටහිර Jazz සංගීතය ඔබට අහෙනවාද බලන්න…




…………..

කතාවට ඔය ගීත දෙක වුණත් සෑහෙනව වුණත් විදෙස් ගතවෙලා ඉන්න අපේ ජීවිත විලට හුඟාක් සමීප අත්දැකීමක් ගැන ලියවුණු මේ ගීතය බලන්න…

උපන් බිමෙන් පිට වූයේ…

උපන් බිමෙන් පිට වූයේ
නුහුරු රටේ තනි වූයේ
පුංචි පුතේ පුංචි දුවේ
නුඹ හින්දයි වෙහෙසෙන්නේ

හැමදා රෑ සිහින වැලේ
නුඹ එනවා හිතට මගේ
මා හෙලනා ඩා බිංදූ
මසුරං වේ නුඹ හින්දා

රස්තෆාරියන් ඩ්‍රෙඩ්ලොක් කොණ්ඩ කරල් වෙනුවට බදාම දැම්ම වගේ හෙයා ක්‍රීම් ගාල නූලට පීරපු කොණ්ඩෙ තිබුණත්, reggae ගායකයන්ගෙ උගුර රළු වැලිකඩදාසියෙන් මැදල වගෙ තියෙන කටහඬ වෙනුවට සුමිහිරි ,සෞම්‍ය ,පැහැදිලි ටී එම් ගෙ හඬින් කිව්වත් මේ ගීතයෙ තියෙන reggae නාද රටාව ඔබටත් ඇහෙනවාද බලන්න..




….තිසා අයිය අපි කෑම කකා හිටපු මේසෙ පළලට අත් දෙක දිග ඇරල පෙන්නල “මල්ලි ටී එම් හෙණ රේන්ජ් එකක සිංදු කියල තියෙනව මල්ලි”… කියල කියපු එක හරියටම තේරුණේ දැන්ය…


ප.ලි.
දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් උන්ගෙන් වෙන්වෙලා, උපන් බිමෙන් වෙන්වෙලා, නුහුරු රටේ තනිවූවන්ගෙ ගොඩට අලුතෙන්ම එකතුවුණ නාඳුනන බ්ලොග් සහෘදයා.. ඕනයා.. ! ට මේ සින්දුව dedicate කරන්න කැමතියි…


ඊට ප.ලි
ඉඳල හිටල ලියවුන පෝස්ට් දහයක් පමණ ඇති මගේ බ්ලොග් කඩමාල්ල බලන්නට පන්දහස් වාරයක් ගොඩවුණු හැමදෙනාටම ස්තුතියි…


පින්තූර ගත්තෙ මෙතැනින්..
http://www.sl-spirit.com

39 Comments leave one →
  1. November 25, 2011 8:29 am

    ලස්සන සිංදු ගොඩාක් ඇහුවා. සපතේරු උන්නැහැට ගොඩාක් ස්තූතියි. අනේ ඉතින් ඔයාලා එකතුවෙලා ඔය වගේවත් කතා කරලා, සිංදු කියලා විනෝදවෙන එක කොච්චර දෙයක්ද? ඊයේ තිස්සගේ උපන්දිනේ නේද? එයා කොහොමත් ඔය බස්වලට එන්නෙත් සිංදු කියාගෙන. ඕනම වෙලාවකට ඔබින ලස්සන සිංදුවකුත් එයාට තැනේ හැටියට මතක් වෙනවත් එක්ක. 🙂

    • November 26, 2011 12:53 am

      ඇත්තටම පොඩ්ඩි අපිත් මේ හූවෙ දුර හිටියත් මුණ ගැහෙනව අඩුයි… කාල වේලා ප්‍රශ්න නිසා… තිසා අබුඩාබි ඉඳන් ආපු නිසා ඔහොමවත් සෙට් වුනා…

      අපිටත් තිසාගෙ උපන් දිනේ ගැන දැනගන්න ලැබුනෙ පහුවදා උදේ…

  2. November 25, 2011 8:41 am

    මේ සින්දු ටික හරිම අඩුවෙන් තමයි අහලා, ඇහිලා තියෙන්නෙ.. ආයිමත් අහන්න ඕනි ! හරි සොඳුරු හමුවක් තිබිලා තියෙන පාටයි !

  3. November 25, 2011 8:49 am

    කාලෙකට පස්සේ… වටිනා, රසවත් දෙයක් මාතෘකාව. ටී.එම්. ගේ ගීත ලිස්ට් එකේ මගේ ප්‍රියතම ගීත කිහිපය ඔබේ විමසුමට ලක්වී තියෙන්නේ. උපන් බිමෙන් පිට වූයේ ගීතයේ පදමාලා හිත බර කරන අතර සංගීතය හම මතුපිට සිට හදවත් දක්වා රුධිරවාහිනී ප්‍රකෘතිමත් කරනවාද, කම්පනයෙන් මසාජ් කරනවාද කියන්න අමාරුයි – මට නම්. ඒත් අත්වල කරගැට මකලා, හිත්වල අලුත් යමක නැඟී අඳුරු කඳු අතරින් බලාපොරොත්තුවේ අරුණලු මතුකරනවා ඒකාන්තයි – පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙන්නේ.

    තුන්කට්ටුවේ හමුව තවත් රසබර වෙන්න ඇති. ජය!

    • November 26, 2011 12:57 am

      උපන් බිමෙන් පිටවූයේ ගීතය ඇත්තටම අපේ තේමා ගීතයක් හැටියට සලකන්න වටින එකක් නේද…

      ඔව් ඩීන් අයියා … කාලෙකින් ටිකක් නිදහසේ එක වගේ හිතන සෙට් එකක් එක්ක කයිවාරුවක් ගහන්න ලැබුනෙ…

  4. November 25, 2011 1:41 pm

    ඇත්තෙන්ම එදා හැන්දෑව හරිම සොඳුරු හැන්දෑවක් උනා . .

    අපි වෙන්වෙනකොට රෑ 11.30ත් වෙච්චි එකේ

    පොඩ්ඩක් හරි දැනගන්න තිබ්බ නම් තිසාගේ උපන්දිනේ බව තව පැය බාගයක් ඉඳලා කේක් එකකුත් කපලා සෙලිබ්‍රේට් කරලම එන්න තිබ්බා . .

    කොහොම නමුත් රුචාටත්, තිසාටත් ඒක අමතක නොවන සැන්දෑවක් බව මට විස්වාසයි.

    ඇත්තෙන්ම ටී.එම්. ගේ අපූරු ගීත ගොඩක් තිබ්බ උනත් තිසා කිව්ව වගේ එකම රටාවේ ටික විතරක් රේඩියෝ වලින් ටීවී වලින් ප්‍රොමෝට් කරන කරපු නිසා වෙන්න ඇති අපිට අර වගේ හිතෙන්නේ.

    ඒත් මට හිතෙනවා කේමදාස මාස්ටර් ටී.එම්. ගේ සුවිශේෂත්වය හඳුනාගත් අයෙක් කියලා.

    මාස්ටර් මියුසික් කරපු හොඳම සින්දු ඔක්කෝගෙම ටී.එම්. ඉන්නවා

    හඳුනාගත්තොත් ඔබ මා – බඹරු ඇවිත් – ටී.එම්. සහ සුනිලා අබේවර්ධන සහ අයිවෝ ඩෙනිස්

    හිමින් සැරේ පියා විදා – හංසවිලක් – ටී.එම්. සහ සුනිලා අබේවර්ධන

    අඳුරු කුටිය තුල – ටී.එම්. සහ අයිවෝ ඩෙනිස්

    සිරා ලිපියක් සපා . . .

    ජය

    • November 26, 2011 1:02 am

      ෂෙක්… තිසාගෙ උපන් දිනේට මොකුත් කරන්න බැරි වෙච්ච එක වස වැරැද්දයි..

      හෙමින් සැරේ පියා විදා.. ටී එම් ගෙ මම කැමතිම ගීතයක්.. ඇත්තටම මාස්ටර් තමා ටී එම් ගෙ හඬෙන් හොඳ වැඩක් ගත්තෙ…

      හඳුනාගත්තොත් ඔබ මා ගැන පෝස්ට් එකක් ලියන්න හිතා ඉන්නව.. වෙනම කතාවක් ගැන…

      තිසාව මුණ ගැස්සුවට ඇත්තටම ස්තුතියි..

  5. November 25, 2011 3:35 pm

    ටී.එම්. කියන්නෙ නිසි ඇගයීමක් නොලැබුණ දක්ෂයෙක්. යම් දවසක කට්ටියට එයාව මතක් වෙන්නෙත් මැරෙන්න ලං වුණාම තමයි. ඔය හරුන් ලන්ත්‍රා මහත්තයට වෙලා තියෙන්නේ… ට්‍රිප් එකක් යද්දිවත් එතුමගෙ සින්දු කියවෙනව අඩුයි.

    ටී.එම්.‍ මහත්තයගෙ එකම සින්දු ටික හැමදාම ඇහුණට පොඩ්ඩක් හෙව්වොත් සෑහෙන්න වෙනස් සින්දු ගාණක්ම කියල තියෙන බව හොයාගන්න පුළුවන්… මට මෑතකදි අහු වුණා සින්දුවක් “සඳ හිරු වී මගේ ලොවේ ඔබ දිලුණා” කියල… ඒක මාරම ෆීලිං එකක් දෙන සින්දුවක්…

    • November 26, 2011 1:08 am

      ඒ වගේ දක්ෂ ගායකයන්ගෙන් තව තව ගීත බිහිවෙනවනම් මම හිතන්නෙ බහුතරය නොවුනත් අලුත් පරපුරේ වුනත් ඒ ගායක්යන්ට කැමති අය බොහොමයක් ඇති…

      සඳ හිරු වී… කුලරත්න ආරියවංශ ලියපු ලස්සන ගීතයක්…

  6. November 25, 2011 3:38 pm

    කෙනෙක්ව ඉස්ඉස්සෙල්ලාම මුණ ගැහුණම මගේ හිතට යම් අදහසක් එනවා
    පස්සේ මමම කියාගන්නවා නෑ ටිකක් ආස්‍රය කරලා බලනවා කියලා
    ඒ වුනාට මට බොහෝ වෙලාවට අර ආපු අදහස වෙනස් වෙන්නේ කලාතුරකින්

    මම උඹව දැක්කේ හුම්මානයක් වාගේ…. පොඩි විවරයක් තිබ්බ තැනකින් ලොකු ගැඹුරක්… ආයෙමත් එතනින් උඩට විසිවෙන රල පහරක්….

    කථා බහ අතරතුර උඹ විනාඩියක් දෙකක් වෙනලෝකෙකට ගිහින් ආයේ එන්නේ අදහස් ගොන්නක් එක්ක

    දුකා මේ වාගේ කිහිප වතාවක්ම මගේ කාන්සිය නිමුවා – ඒකට පින් ඌට
    එදා හමුව කාලයක් මගේ හිතේ තියේවි –
    තැන්කූ මචෝ වැඩ රාජකාරි මැද්දේ එදා ආවාටත් නවාතැනක් සොයාදුන්නාටත්…

    උපන් බිමේදීම දවසක හමුවෙමු – හමුවී හිනැහෙමු අපි ආයේ…

    • November 26, 2011 1:13 am

      එදා හමුව මටනම් අනිවා අමතක නොවෙන හැන්දෑවක්… දුකා ට තමා ස්තුතිය…

      මේකෙ සටහන් කලේ එක පුංචි කරුණක් ගැන විතරයි… තිසා එක්ක කරපු කතාබහෙන් හුඟක් දේ එකතු කර ගත්ත…

      අනිවා නැවත හමුවෙමු… මේ ලෝකය හරිම පුංචියි…

  7. Buratheno permalink
    November 25, 2011 3:52 pm

    චැහ්, මුන් ටික සෙට්වෙලා නෙවැ.. අපට කොයින්දැ බූල් බල්ලෝ.. 🙂

    • November 26, 2011 1:16 am

      ඇයි ඒරොප්පෙ නැතුවැයි මුණගැහිල චැට දාන්න අපේ ගැන්සියෙ මොකෙක්වත්…?

      දුකා පහල කියල තියෙනව වගේ අපි බුරා ගැනත් කතා කලා… ඔච්චර එක එක බ්ලොග් වල කොමෙන්ට් වලින් මුණ ගැහිල තිබුණත් මම ඕං බුරාගෙ නම දැනගත්තෙත් එදායි….

  8. November 25, 2011 6:23 pm

    ටී.එම. ජයරත්න මගෙත් ප්‍රියතම ගායකයන්ගෙන් එක්කෙනෙක්.
    සපතේරු උන්නැහේ කාලෙකින් එලි බැස්සේ හොඳ සින්දු ටිකකුත් අරන්, ස්තුතියි.

    • November 26, 2011 1:21 am

      ටී එම් මගෙත් ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්… කනට සෞම්‍ය කටහඬක් තියෙන සිංහල ගායකයන්ගෙ අංක එක මම හිතන්නෙ…

      ඔබා අයියගෙ ( ? ) කොමෙන්ටුවත් ආපහු පෝස්ට් එකක් ඉක්මනට දාන්න හේතු වුණා…

  9. November 25, 2011 7:14 pm

    බ්ලොග් එකේ මකුළුදැල් බැඳෙන්න නොදී තියා ගම්මු නේද අයියේ.
    මමත් මේ සින්දු තුන ඇහුවා, පළවෙනි එකේනම් ඒ කියපු ශාන්තිකර්ම නාදරටා මට දැනුනේ නැහැ.
    ඒත් අනිත් දෙකේනම් කියපු විදිහටම ඒ දේ දැනුනා.

    මම බ්ලොග් ලියන්න පටන් ගන්න සෑහෙන කාලයකට කලින් ඉඳල තමයි සපතේරු උන්නැහේගේ බ්ලොග් එක කියෙව්වේ.
    ඇනෝ කෙනෙක් විදිහටත් ඇවිත් අර “පාදඩයා” පෝස්ට් එකට හෝ දෙකටම කමෙන්ට් එහෙමත් දැම්මා.

    • November 26, 2011 1:23 am

      ආයුබෝවන් ලොකු පුතා… !

      ඔව මලේ අයෙනම් මකුලු දැල් බැඳෙන්න නොදී ඉන්නයි හිතාගෙන ඉන්නෙ…

      ආපහු ඇවිත් කොමෙන්ටුවක් දැම්මට බොහොම ස්තුතියි… දිගටම හමුවෙමු..

  10. November 25, 2011 8:54 pm

    ටී එම් ජයරත්ත මහත්තයා කියලා කියන්නේ මම් ආස කරන ගායකයින්ගෙන් එක්කෙනෙක්. එයාගේ ගොඩාක් සිංදු ලස්සනයි !!! ඒ වගේම අර්ථාන්විතයි.

    • November 26, 2011 1:26 am

      මධුරංග මල්ලි…ටී එම් ගෙ සිංදු සරලයි… කටහඬ මිහිරියි.. ඒකයි මම හිතන්නෙ හුඟ දෙනෙක් ටී එම් ගෙ සිංදු වලට කැමති…

  11. November 25, 2011 9:10 pm

    බුරා අපි උඹ ගැනත් කතාවුනා බන් . . .

    කමක් නෑ කවදා හරි දවසක් එයිනේ බන් අපි උඹල ඔක්කෝටම එකට සැට් වෙන්න . . .

  12. මාරයා... permalink
    November 25, 2011 9:50 pm

    ෂහ් පණහ දශකයේ පොරවල් තුනකට අර රුචකයා වගේ හැටේ දශකයේ එකෙක් සෙට් වෙලා ආතල් එකක් අරං වගේ..මට තියෙන ප්‍රශ්නේ රුචකගේ
    “විමර්ශනාත්මක” , “ගැඹුරු”, “ශාස්ත්‍රීය” ප්‍රශ්න මොනවද කියන එකයි…:D:D:D

    කොහොම උනත් මකුළු දැල් කඩපු එකනං වටිනවා…

    ආ ඔය ටීම් අංකල් වගේ පරණ ඈයොන්ගේ එව්වා මං අහනවා අඩුයි.. ඒ හින්දා මට ඔය ගැන අදහසක් දෙන්න අමාරුයි.

    • November 26, 2011 1:31 am

      උඹල වගේ ලාබාල චූච්චං කොල්ලන්ගෙ රස වින්දනේට ගිහින් තියෙන කල දසාව ගැන තමා අපි කතා වුණේ…

      රුචා ගෙ ප්‍රස්න ගැන නම් අහන්න එපා .. තාමත් හුස්ම හිරවෙන්න එනව… 😀

  13. Hasitha permalink
    November 26, 2011 5:07 pm

    ටී.එම් ජයරත්නයන්ගේ සිංදුවලින් පොඩි කාලේ හුඟක්ම අහලා තිබුණේ රුවට රුවේ ගීතය. ඒත් පස්සේ කාලේ හුඟක් හිත් ගත්ත සිංදු වුණේ හෙමින් සැරේ පියා විදා සහ සිතින් මා නොසැලී කියන සිංදු……..

    • November 26, 2011 8:02 pm

      ඊයේ දාපු කමෙන්ට් එක වැටුනේ නැහැනේ . බ්ලොග් එකේ මකුළු දැල් විතරද තිබ්බේ , නයි පොලොංගු හෙම හිටියේ නැතෙයි . කට්ටිය හොඳ කාලයක් ගෙවල වගේ . අපිටත් ඉතින් ආසයි . කොහෙද අපිට ඔහොම පිනක් . ටි එම්ගේ ගී වලට මමත් කැමතියි .

      • November 26, 2011 8:48 pm

        බින්දි ගෙදර යන්න ලෑස්ති වෙන ලෑස්ති විල්ලට මම හිතුව කියවන්නවත් වෙලාවක් නැතිවෙන්න ඇතිය කියල…

        මේ පාර ලංකාවට ගියහම වත් පොඩි තේ හමුවක් වත් දා ගන්න බලන්න… පොඩි නිවුස් ටිකක් දෙන්නම්… දුමී ලංකාවට ගිහින් ඉන්නෙ… දුකාත් තව දවස් කීපයකින් යනව… තිස්ස ත් යනව… පුළුවන්නම් මුණගැහෙන්න බලන්න…

    • November 26, 2011 8:42 pm

      ඔව් hasitha මල්ලි.. සිතින් මා නොසැලී කියන්නෙත් අපූරු ගීතයක් තමා… ඒ ගැන මම කතාවකුත් දන්නව.. පුලුවන් වුනොත් පෝස්ට් එකක් දාන්නම්…

  14. ලකී permalink
    November 27, 2011 8:35 am

    ආ..කටිටිය සෙට් වෙලා තියෙන්නෙ..හොඳයි..හොඳයි

    බ්ලොග් එකේ මකුළු දැල් කඩලා වවුල්ලු එළවලා තියෙන්නේ..ඒකත් හොඳයි.

    ටී එම් ලගෙ කාලයේ ගොඩක් ගායකයින්ට මම කැමතියි. කවදාවත් එපා නොවෙන ගීත. පාටියකදි දාගෙන නටන්නත් පුළුවන් .කාන්සිය නිවාගන්න ඇස් දෙක පියාගන රස විඳින්නත් පුළුවන්.

    • November 30, 2011 1:35 am

      ඔව් ආයෙ නම් මකුළු දැල් බැඳෙන්න නොදී මොනව මොනව හරි ලියල දාන්න ඉන්නෙ…

      ටී එම් ල වගේ ගායකයන්ගෙ ගීත වටින්නෙ හිත නොසන්සුන් වුන වෙලාවක පැත්තකට වෙලා හෙමින් ගීතයක් රස විඳින්න පුළුවන් කෙනෙකුටම තමා…

  15. Kandyan permalink
    November 27, 2011 1:31 pm

    ටී එම් ගේ “ඩින්ගිරි චුටි පූතා” අහලා බලන්ට. ඒකත් ටිකක reggae / Latin American style. මං හිතන්නේ නිමල් මෙන්ඩිස් තමයි මියුසික්.
    http://www.infolanka.com/miyuru_gee/ddd/d196.ram

    • November 30, 2011 1:36 am

      ආයුබෝවන් කැන්ඩියන්…

      ගීතය ඇහුවා… අහල තිබුනෙ නෑ.. අපූරුම ගීතයක්.. වෙනස්ම ආරක ගීයක්..

      නැවත එන්න..

  16. November 27, 2011 6:16 pm

    ටී. එම්. ගෙ උපන් බිමෙන් පිට වූයේ කියන සිංදුව මම දන්න කාලෙක ඉඳල කැමතිම සිංදුවක් . . . වචන තරමටම මම සිංදුවෙ තාලෙටත් ආසයි . . . අද තමයි දැනුනෙ මොකක් වෙන්න ඇතිද කියල හේතුව . . .

    ටැංකිවු ඈ . . මාව මතක් කලාට . . . .

    • November 30, 2011 1:39 am

      ආයුබෝවන් ඕනයා..

      ඒ සිංදුවෙ තියෙන රෙගේ පන්ච් එක නිසා තමා හිතට වදිනව ඇත්තෙ..

      මට සින්දුව ඇහුවහම මට ගෙදරින් ඈත් වුනහම දැනුන දුක මට්තක් වුනා… උඹනෙ ඒකට මූන දුන්න අලුත්ම එකා.. ඒකයි මතක් වුනේ..

  17. November 28, 2011 5:35 am

    සපතේරු උන්නැහේ අයියා . මේ පොඩි කේස් එකක් නිසා මම පොඩ්ඩක් එපිට ගිහින් හිටියේ . ඉතින් පන්දහස් වාරයක් ආගමන වලට මගෙනුත් සුබ පැතුම් . නිතර නොලියවෙන බ්ලොග් එකක් වුණත් ආසාවෙන් කියවන්න උදවිය ඉන්නවා කියන එකට ඒක හොඳ ඉඟියක්

    සින්දු ගොඩකුත් අහන්න දුන්නට තෑන්ක්ස් .. ඒත් ඇහුවේ එක සින්දුවයි . මගෙ මෙගා බයිට් ටික පිච්චෙනවට මම බයයි ..

    • November 30, 2011 1:42 am

      සඳරු මල්ලි…
      එකක් හරි ඇහුව මදෑ… පුලුවන් වෙලාවක කොහෙන් හරි බාගෙන වත් තියාගන්න… ජීවිතේ වෙලාවල් තියෙනව සිංදු ඖෂධ වගේ දැනෙන..

  18. November 29, 2011 5:58 am

    ඇත්තටම නියම සිංදු ටිකක්…. මං නම් ඩවුන් කරගත්තා…

    • November 30, 2011 1:45 am

      මාලු මල්ලි… බා ගත්තු එක හොඳා… කලබල නැති වෙලාවක.. නිදා ගන්න ගිහින් නින්ද යන්න කිට්ටුව… අඩ නින්දෙන් … නෙතු පියමි සිහිනයක… අහල බලන්න…

  19. November 30, 2011 5:35 am

    මමත් ගොඩක් ආස සිංදුවක් මේක… කැමති වෙන්න හේතුව තමා මේක වෙනස් තාලයකින් කියපු එක….

Leave a reply to සපතේරු උන්නැහේ Cancel reply