Skip to content

ඇයි සුද්දන්ට ටැපලෙන්නෙ නැද්ද…?

September 15, 2011

“මේ දිනවල මගේ බ්ලොග් සටහනට යටින් Advert එකක් ප්‍රදර්ශණය වීමක් සිදුවේ… මෙය මගේ සම්බන්ධයක් ඇතුව සිදුවන්නක් නොවන වග කියවන ඔබ හැමට දැනුම් දෙමි… මට මෙය නිවැරදි කර ගැනීමට දැනුමක් නැති අතර හැකි ඉක්මනින් හිතවතුන්ගේ උපදෙස් ලැබ මෙය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමි…
– සපතේරු ”



තවදුරටත් මුකුත් ලියන්නෙ නැතුව හිටියොත් මේ අමාරුවෙන් පටන් ගත්තු බ්ලොග් කටුව ආසානාසි වීලා යයි කියල හිතෙන නිසා පෝස්ට් එකක් ලියන්න පටන් ගත්ත… ඒත් ඒක ඉවර කරන්න කලින්.. ඊයෙ සිද්ධවෙච්ච දෙයක් නිසා පොඩි ආගිය කතාවක් ඉස්සෙල්ල ලියල දාන්න හිතුව…මේක බොහොම පොඩි සිද්ධියක්…

ඒත් සිද්ධිය කිය්න්න කලින් පැහැදිලි කරන්න පොඩි දෙයක් තියෙනව… මොකද මාතෘකාව දැක්කහම වැරදි අදහසක් ඇතිවෙන්න පුළුවන් නිසා… ඒ තමයි මම කිසිම අන්දමකින් ජාතිවාදී අදහස් ඇති කෙනෙක් නොවන වග… මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වන අතර අනිකුත් සියල්ලන්ටම ඒසේ ඔවුන්ගේ ජාතිය ගැන ආඩම්බර වීමට ඇති ඇයිතිය හිස් මුදුනින් පිළිගන්න බව කියන්න ඕනෙ…

ඒක නිසා කිසිවෙක් සුද්දෙක් වුණා කිය මගේ කිසිම වෙනසක් නැති බවත්, පල් වැඩ කරන සුද්දන් වගේම පල් වැඩ කරන ලාංකිකයිනුත් රජ වැඩ කරන සුද්දන් වගේම රජ වැඩ කරන ලාංකිකයිනුත් ඇති බවත් ඔවුන් කරන් වැඩ අනුව පල් සුද්දෙක් හෝ පල් ලාංකිකයෙක් හැටියට සලකන බවත් කියන්නම ඕනෙ.

මෙච්චර ලිව්වෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ( විවිධ ජාතීන්ට අයත් යන අර්ථයෙන් ) ටීම් එකක් එක්ක වැඩකරන මං ගැන අනේ වැරදි අදහසක් ඇතිකරගන්න එක අපරාදෙනෙ කියල..

මම මේක සඳරුගෙ කොමෙන්ටුවකත් කිව්ව …. මගෙ ටීම් එකේ ළමයි විසිපහයි ඉන්නෙ…හැබැයි…. ශ්‍රී ලාංකික , උතුරු ඉන්දියානු , මලයාලි , නේපාලි , භූතානි , කෙන්යානු , ඊජිප්තු , පිලිපීන , මියන්මාර ( බුරුම ) සහ පිරිසිදු කරන සහායක බංගලි…. ඔක්කොම ඉන්නව …. කොහොමද……

එකම ජාතියෙ, බොහෝ විට එකම ආගමේ පොඩි කණ්ඩායමක් එක්ක ලංකාවෙ අපි වැඩකරන්න ගියාම තියෙන රඟේ දන්න කෙනෙකුට හිතාගන්න පුලුවන් ඇති මම මොකක්ද කියන්නෙ කියල… මම මේ ඔක්කොම කියන්නෙ ඒ වගේ ටීම් එකක් සමගියෙන් තියාගෙන… කොඳු කැඩෙන අලෙවි ඉලක්ක ( ගිය මාසෙ ඔය කට්ටිය එකතුවෙලා සපත්තු කුට්ටම් 17,000ක් ! විකිණුව ) ළඟා කරගන්න යොමු කරවන්න බෑ ; මම ඇත්තටම හැමෝම ගැන එකවගේ හිතන්නෙ නැත්නම්…

මෙන්න කතාව…

ඒ ගමන තව පොඩි විස්තරයක් කියන්න වෙනව… ඩුබායි මෙට්‍රෝ දුම්රිය ගැන.. ඩුබායි මෙට්‍රෝ දුම්රියත් ( වචනාර්ථයෙන් දුම්රිය කිව්වට රෝද වල ඇති මෝටර වලට රේල් පීලි දිගේ ලැබෙන විදුලියෙන් ක්‍රියාකරන කිසිම දුමක් නැති විදුලි කෝච්චියකි ) අනිත් ඕනෑම මෙට්‍රෝ දුම්රියක් වගේ… නගරෙ වාහන තදබදය අඩු කරන්න පොළොව උඩින් සහ යටින් සාදා ඇති මාර්ග වල දුවන ළඟ ළඟ නැවතුම්පොලවල් ඇති දුම්රිය සේවයක්… ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි විතරක් දුම්රියේ ගිහින් තියෙන කෙනෙකුට පිළිගන්න බැරි තරම් ඇතුළත,ආසන ආදිය පිරිසිදුයි…හැබැයි චුයින්ගම් එකක් වත් හැපුවොත් දඩ… එහෙමයි ඒ පිරිසිදුකම ආරක්ෂා කරගෙන තියෙන්නෙ…

කලින් කිව්ව වගේ කෙටි ගමන් වලට බොහෝ දෙනෙක් පාවිච්චි කරන් නිසා ආසන හුඟාක් සුවපහසු නෑ… අවශ්‍යම කෙනෙකුට යන්න එක පෙට්ටියක් විතර තියෙනව gold class කියල හොඳ සුවපහසු ආසන සහිත… නමුත් ඒකෙ ගමන් ගාස්තුව සාමාන්‍ය පන්තියෙ වගේ තුන් ගුණයක් විතර වෙනව…

තව පොඩි දෙයක්.. ගමන් ගාස්තුව ගෙවන්නෙ කලින් ලබාගත් ඉලෙක්ට්‍රොනික් කාඩ්පතකින්… මෙහේ සාමාන්‍ය පන්තියට අළු පාට කාඩ් පතකුත් gold class එකට රන්වන් කාඩ් පතකුත් විදිහට කාඩ් පත් වර්ග දෙකක් තියෙනව…

ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ ඒ කාඩ් තමා… අනිත් නිල් පාට කාඩ් එක වැඩිහිටි පුරවැසියන්ටත් ශිෂ්‍යයින්ටත් ලබාදෙන අඩු ගාස්තු අයවෙන එකක්, රතු පාට කාඩ් එක අපි ලංකාවෙදි කෝච්චි ටිකට් ගන්නව වගේ එක ගමනකට ගන්න කඩදාසි කාඩ් එකක්…

ඒ වගේම මෙහේ මෙට්‍රෝ දුම්රිය සේවය විතරක් නෙමෙයි බස් ගමනාගමනයත් පාලනය වෙන්නෙ එකම ආයතනයකින් නිසා ඔය කාඩ්පත බස් එකටත් පාව්ච්චි කල හැකියි..

මමත් නිතරම පාවිච්චි කරන්නෙ අළුපාට කාඩ්පතක් … සාමාන්‍ය ගමන් බිමන් වලට ඉතාම ලාභ පහසු ක්‍රමය නිසා… හිටගෙන යන්න වුනත් විනාඩි 10 ක 15 ක ගමන් නිසා අපහසුවක් නැහැ… ඒත් ටික දුරක් යන්න වෙන ඒ වගේම ගමනෙන් පසු වැදගත් රැස්වීමකට සහභාගි වෙන්න තියෙන වගේ වෙලාවක වෙහෙසකර මුහුණකින් යුතුව යන්න කැමති නැති නිසා ඒ වගේ ගමන් වලදි gold class එකේ යන්න පාවිච්චි කරන gold card එකකුත් නිතර මගෙ සාක්කුවෙ තියෙනව…

…..ඊයේ ඒ වගේ ගමනක් යන්න ඕන වෙලා මම gold card එක tag කරල gold class එකට ගොඩ වුනා…

මේ මෙට්‍රෝ කෝච්චියට රියදුරෙක් නැහැ… පරිඝණක ගත කරපු මධ්‍යගත පාලනයක් තියෙන්නෙ… ඒත් කොන්දොස්තරල කියන්න පුළුවන් නිලධාරි දෙතුන් දෙනෙක් ඉන්නව.. එයාල තමා මගීන් හසුරවන්නෙ..

සාමාන්‍ය ගාස්තු වලට වඩා තුන් ගුණයක් විතර ගනන් නිසා ඒ පෙට්ටියෙ වැඩිපුර සෙනග නෑ කොයි වෙලාවකවත්… එවෙලෙත් නැග්ගෙ තුන් හතර දෙනයි… මට පස්සෙ නැග්ග තඩි සුද්දෙක්… ( ඕස්ට්‍රේලියන් විය හැකියි ) … දැන් සුද්ද ඉස්සරහම ආසනයක.. ඊලඟට මම… අර කලින් කියපු කොන්දොස්තරලගෙ සිරිතක් තියෙනව gold class එකේ ඉන්න අයගෙ කාඩ් බලනව ඇත්තටම gold card ද කියල… දඩ ගහන්න නෙමෙයි… හරි පෙට්ටියට යවන්න…. ( චෙකර්ල වෙනම ඉන්නව දඩ ගහන්න )…

එවෙලෙ හිටියෙ මලයාලි හරි අපේ කෙනෙක් හරි ( සිංහල නම් නෙමෙයි ) කියල හිතන්න පුලුවන් කොන්දොස්තර කෙනෙක්…. මිනිහ අර සුද්දව පහුකරගෙන මගෙ ළඟට ඇවිත් අහනව මගේ කාඩ් එක gold card එකක්ද කියල… සුද්දගෙන් ඇහුවෙ නෑ… මිනිහ හිතන්න ඇති සුද්දෙකුට පැටලෙන්න විදිහක් නෑ කියල… මටත් දැන් මේක නිකන් අපහාසයක් වගේ… ඇයි යකෝ මට ඉස්සරහ සීට් එකේ ඉන්න එකාගෙන් අහන්නැතුව.. ඌව පහුකරගෙන ඇවිල්ල මගෙන්ම අහන්නෙ..? මමත් කතාවක් නැතුවම සාක්කුවෙ තිබ්බ කාඩ් එක එලියට අරන් පෙන්නල ආයි සාක්කුවට දාගත්ත…

මම කාඩ් එක පෙන්නුවහම කොන්දොස්තර තැන යන්න හැරුන…

එතකොට සුද්ද අලු පාට regular card එකක් එලියට අරන් පෙන්නල කොන්දොස්තරගෙන් අහනව ” I’ve got this card… am I sitting in wrong class..? ( මගේ ළඟ තියෙන්නෙ මේ කාඩ් එක… මම ඉන්නෙ වැරදි පෙට්ටියෙද… ?) ” කියල …

අනේ අර කොන්දොස්තර අර සුද්දවත් දක්කගෙන අනිත් පෙට්ටියට ගියා…

සුද්දන්න්ට වැරදෙන්නෙ නෑ ය… උගේ වගේ කලු හම තියෙන මට වැරදිලා gold class එකේ වාඩිවෙලා ඉන්නෙය කියල හිතපු ඒ කොන්දොස්තරට එවෙලෙ මම දාපු සාකැස්ටික් හිනාව බලාගන්න කණ්නාඩියක් තිබුනෙ නෑ නොවැ…

——————————————————————-

Advertisements

මේ ගීතය ඔබටත් මග හැරුනාද ?

August 16, 2011

මම සිංහල බ්ලොග් අවකාශයට ටිකක් අලුත්… ඒක නිසා මේ කරන්ට හදන වැඩේ හරිද වැරදිද කියල හරියටම දන්නෙ නෑ…

කපුටන්ගෙ සිරිතක් තියෙනවලු කෑමක් හම්බවුනාම කා..ක් කා..ක් ගාල කට්ටියට දැනුම් දෙන… අන්න ඒ වගේ වැඩක් කරන්න හදන්නෙ..

අද දාන්නෙ පෝස්ට් එකක් නෙමෙයි ලින්ක් එකක්…

සිද්ධිය මේකයි…

මම බ්ලොග් ලියන්න හුඟක් කලින් කියවපු බ්ලොග් එකක් තියෙනව “ජනූගෙ සටහන්” කියල.. ටික දවසක් ඕක මගඇරිල තිබිල… ළඟදි ආයිත් කියවන්න ගත්ත… ඊයෙ දාල තියෙන පෝස්ට් එකේ තියෙනව අමරදේවයන්ගෙ හරිම ලස්සන ගීතයක්…

මේ කරන දේ කරන්න හේතුව වුනේ ඒ ගීතය.. හේතුව මේකයි.. මම කවදාවත් ඒ ගීතය මීට කලින් අහල නෑ…

මගෙ බ්ලොග් එක බලන්නෙ විස්සක් තිහක් වුනත් ඒ අතරින් ජානුගෙ පෝස්ට් එක මිස් වුන දෙතුන් දෙනෙක් හරි ඉන්නවනම් ඒ අයත් එක්ක මේක බෙදාගන්න හිතුව…

මම මේකට ජනනි හංසකිංකිණි ගෙන් අවසර ගත්තෙ නෑ.. බැන්නොත් ගලවනව කියල හිතාගෙන දාන්නෙ…

ගීතය මේකයි …”මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා…!!”



Then.. without further ado……


මෙතැනින් ජනනි ගේ පෝස්ට් එකට ගිහින් ගීතයත් රස විඳල කොමෙන්ටුවක් හෙම දාල යන්ට..

ප.ලි.

ලිව්වට පස්සෙ හිතුන මේ වැඩේ ටිකක් අලියගෙයි කූඹියගෙයි කතාව වගෙ එකක් කියල .. ඒත් කමක් නෑ..

ඔබ කවුද… ?

August 11, 2011

රාමදාන් කාලය නිසා තරමක විවේකයක් ලැබේය, ඒක නිසා ටිකක් වැඩිපුර ලියන්න ලැබේය කියල හිතාගෙන හිටියත් ඇත්තෙන්ම ලැබුණෙ ඉතාම අවිවේකී කාලයක්… මේ මාසෙ ඇතුළත රුපියල් කෝටි හයක විතර සපත්තු අපේ ආදරණීය පාරිභෝගිකයන්ට අලෙවිකිරීමේ ඉලක්කයක් ලැබුණ..( ලේසි වැඩක් කියල හිතන්ට එපා ඩුබායි වල වුනත්..) ඉතින් ගතින් තරමක විවේකයක් තිබුණත් හිතින් ” full time engaged in business “.

ඒත් අමාරුවෙන් අටවගත්තු බ්ලොග් එක පාළුවට යවලත් බැරි නිසා කාටත් ප්‍රයෝජනවත් විය හැකි පුංචි අදහසක් සටහන් කරන්න හිතුව… සුබස වත් පාවිච්චි නොකර ලින නිසා අකුරු විනිසෙහි නොයෙක් අඩුපාඩු තිබිය හැකියි..



පහල ඡායාරූපයේ ඉන්න කෙනාව දන්නවද… ?

මේ ඉන්නෙ Les Brown. ඔබ ඔහුව දැනටමත් දන්නවනම් මම කියන්න යන කතාව ඔබ දන්නව ඇති… ඒත් කමක් නෑ.. ආපහු කියවමු.. අපතෙ යන එකක් නෑ…

ඇයි මම Les Brown ගැන ලියන්නෙ.. ?

කාටත් වගේ තියෙනවනෙ අවශ්‍ය තැන් වලදි පාවිච්චි කරන නොයෙක් කියමන්… (Quotes).ඕව ඉතින් අපි කොහෙන් හරි කියවල හරි කවුරු හරි කියනව ඇහිල හරි මතක තියාගත්තු ඒවනෙ… තමුන්ගෙම කියමන් ඇති අයත් නැතුව නොවෙයි… ( ඇයි හත්තිලව්වෙ ඔය කියමන් මුලින්ම කියපු උදවිය.. ). මමත් ඒ වගේ පාවිච්චි කරන quotes තියෙනව…

මම පාව්ච්චි කරන, ඉතාම වැදගත්ය කියල මට හිතෙන, එක කියමනක් මම අහල තියෙන්නෙ ඔන්න ඔය පින්තූරෙ ඉන්න Les Brown ගෙන් .

ඔහු ප්‍රසිද්ධ දේශකයෙක්… ( motivational speaker කෙනෙක් )… අපි කියමුකො උනන්දු කරවීමේ දේශකයෙක් කියල… විශාල මුදලක් අය කරන, ප්‍රසිද්ධ සමාගම් , ආයතන වලට නොයෙකුත් කන්ඩායම් වලට සාර්ථකත්වය ළඟාකරගැනීම ගැන දේශන පවත්වන කෙනෙක්…

ඔහු ඒ අංශයෙන් නොයෙකුත් ගෞරව සම්මාන වලට පාත්‍ර වෙච්ච කෙනෙක්… National Speakers Association වෙතින් පිදෙන ඉහලම ගෞරව සම්මානයත්, Toastmasters international වෙතින් ඇමරිකාවෙ හොඳම දේශකයන් පස් දෙනාගෙන් කෙනෙක් හැටියටත්, ඒ වගේම චිකාගෝ Emmy Award එකකුත් ලබාගෙන තියෙනව..

මම ඔය කියමන පාවිච්චි කලාට, ඕක කියල තියෙන්නෙ Les Brown ය කියල දැනගෙන හිටියට ඕකෙ නිධාන කථාව දැනගෙන හිටියෙ නෑ… ළඟදි දවසක ප්‍රබෝධ් ට්‍රෙහාන් කියල ඉන්දිය ජාතික මිත්‍රයෙක් මට ඔය කතාව කිව්වෙ…

ඒ කතාව මේකයි……

Les Brown ඉතාම දුප්පත් පසුබිමකින් එන කෙනෙක්… ඉපදිලා සති දෙකකින් ඔහුව දරුකමට හදාගන්න අරන් තියෙනව.. ඒත් කමකරු පවුලක කාන්තාවක් විසින්… කොහොම හරි ඔහුව පාසැලට ඇතුලත් කරල තියෙන මේ කාන්තාව.. ඒත් ඔහු පස්වෙනි ශ්‍රේණිය දක්වා ගියාට පස්සෙ ඔහු අධ්‍යාපනය ලැබිය හැකි, ඒත් දුර්වල මානසික තත්වයක් ඇති (educable mentally retard) ළමයෙක් හැටියට හඳුන්වල ඔහුව ශ්‍රේණියක් පහලට දාල විශේෂ පංතියකට දාල තියෙනව.. එතැන් ඉඳන් හැමෝම ඔහුට සලකල තියෙන්නෙ මැට්ටෙක් හැටියට… මේ සිදුවීම ඔහුගෙ හිතට වැදිල.. ඔහුත් මම “වැඩ බැරි” කෙනෙක්ය කියන මානසික මට්ටමේම ඉඳල තියෙනව..

ඔය අතරෙදි තමයි Les ගෙ ජීවිතය වෙනස් කරපු කියමනක් ඔහුට අහන්න ලැබිල තියෙන්නෙ…

දවසක් ඔහු තමගෙ යාලුවෙක් මුණගැහෙන්න ඒ යාලුවගෙ පන්තියට ගිහින් වාඩි වෙලා ඉඳල තියෙනව.. ඒ අතරෙ ඒ පන්තියට උගන්වන ගුරුතුමා ඇවිත්… ඔහුට දැනිල නැහැ Les මේ පන්තියෙ කෙනෙක් නොවෙන බව… ඔහු යම් ක්‍රියාකාරකමක් දීල ඒක කලු ලෑල්ලෙ කරන්න කියල Les ට කියල තියෙනව.. Les කිව්වලු මට බැහැ කියල.. ගුරුතුමා ඇහුවලු ඇයි බෑ කියන්නෙ කියල… Les කිව්වලු මම මේ පන්තියෙ නෙමෙයි.. මම වැඩ බැරි පන්තියෙ ළමයෙක් ඒකයි මට බැරි කියල… එවෙලෙ ඒ ගුරුතුමා කියපු කියමන තමයි.. Les ගෙ හිත වෙනස් කරල ඉදිරියටම ගිහිල්ල අද ඔහු ඉන්න සාර්ථක තත්වෙට එන්න උදවු වෙලා තියෙන්නෙ… ඒ කියමන තමයි අද ඔහු Quote එකක් හැටියට පාවිච්චි කරන්නෙ..

මම මගෙ බ්ලොග් එකෙත් ගෙදර හදපු බැනර් එකක් වගේ එල්ලල තියෙන්නෙත් ඔය කියමන තමයි…

Les Brown ට ඔහුගෙ යාලුවගෙ පංතියෙ ගුරුතුමා කියපු දේ මේකයි…

Someone’s Opinion Of You Doesn’t Have To Become Your Reality ( ඔබ ගැන යම් කෙනෙකුගේ මතය, ඔබගේ ජීවිතයේ යතාර්ථය විය යුතු නැත..)





මට මේ වෙලාවෙ තව පුංචි කතාවක් මතක් වුනා… මේ දවස්වල පාසැල් නිවාඩු කාලය නිසා කුඩා දරුවන්ට ආදර්ශමත් කතන්දර අරන් ඒව චිත්‍ර , පුංචි අනුරූ වගේ දේවල් ඇසුරෙන් සකස් කරල පුංචි කුටි වල ප්‍රදර්ශනය කරල තියෙනව අපේ Shop එක තියෙන Mall එකේ… මේ කතාව දැක්කෙ ඒ එකක..

ඒ කතාව මේකයි……

ගෙම්බො රංචුවක් කැලයක් මැදින් ගමනක් යනව.. එක පාරටම මහ විසාල ගැඹුරු වලක් තිබිල ඕකට ගෙම්බො දෙන්නෙක් වැටෙනව… මේ දෙන්න ඉතින් බය වෙලා … මේකෙන් උඩට යන්නෙ කොහොමද කියල උඩ පනින්න බලනව.. අර උඩ ඉන්න ගෙම්බො කට්ටිය අඬු පඬු වීසි කර කර කෑ ගහනව .” අපිට උඹල ගැන දුකා..යී.. ඒත් මහන්සි වෙන්න එපා… උඹලට මේකෙන් උඩට එන්න බෑ…ඈ..” කියල.. මේක ඇහිල අර උඩ පනින්න ගත්ත එක ගෙම්බෙක් බයටම පපුව ගැහිල මැරිල වල ඇතුලටම වැටෙනව… අනිත් ගෙම්බ මේ කෑ ගගහ දඟලන ගෙම්බො ටික දිහා බල බලා පුළුවන් උපරිම වීරිය දාල පැනල උඩට එනව… අනිත් ගෙම්බන්ට පුදුමයි … අපි මෙච්චර කෑ ගහද්දිත් මූ ගානකටවත් නොගෙන ගොඩ ආවනෙ කියල…

රහස මොකක්ද දන්නවද…
.
.
.
.
.
.
.
ඒ ගෙම්බ බිහිරියි…
ඌ හිතල තියෙන්නෙ අර කට්ටිය උඩ ඉඳන් අඬු වන වනා චියර් කරනව කියල…


පින්තූර ගත්තෙ මෙතැනින්..
http://www.bigbrothercj.com/
http://dimdima.com

සතෙන් සතේ…රුපියලෙන් රුපියල…… තවාන් & the story of baseball glove..

July 20, 2011

ටික දවසකින් මොකුත් ලියන්න බැරිවුණා.. කාලය තමා උදැල්ල දාන්නෙ… මොකදැ කරන්නෙ… දැන් හිතෙනව මේ ලිවිල්ල නවත්තල දාල, අපේ ලකී,ගිම්හානි , ඔබා, බුරෝ ල වගේ බ්ලොග් කියවන්නයි ලියන අය දිරිමත් කරන්නයි පටන් ගත්තනම් හොඳයි කියල… මගෙ බ්ලොග් එකේ ලියපු පෝස්ට් දෙක තුන කියවල බලද්දි නිකම් monotonous ගතියක් මට තේරෙනව… ඒත් මොකදැ කරන්නේ… මම පටන් ගත්තෙම මට මතක හැටියට පරණ දේවල් ලියන්ඩම නොවැ… බලමුකො ඉස්සරහට බැරි වැඩක්වත් කරල පොඩි චේන්ජ් එකක් කරන්න…

අදත් කියන්න තියෙන්නෙ ඇහුණු කතාවක්…

මේක හරිම දුක හිතෙන කතාවක්… කාටහරි කියන්න පුළුවන් නෙගෙටිව් කතාවක් කියලත්… මක් කරන්නද .. අපි ඉන්නෙ මේ මහපොළොවෙ නොවැ… හැමදේම පොසිටිව් විදිහට ඉවර වෙනවනම් හොඳා තමා…ඒත් හැමවිටම එහෙම නෙවෙන බවනොවැ ඇත්ත….

මට මේ කතාව කිව්වෙ සංචාරක මගපෙන්වන්නෙක්… මිනිහගෙ නම තවාන්…. මුණ ගැහුණෙ තායිලන්තෙදි… මිනිහ කියපු විදිහට තායි බාෂාවෙන් තවාන් කියන්නෙ සූර්යයා කියන එක ලු… සංචාරක මගපෙන්වන්නො ( සමහර ) ඉතින් ඉර හඳ උලා කාපු ,වඳුරන්ගෙන් බණ අහල ජේතවනාරාමෙට ගලුත් ගහල ආපු උන් හින්ද මිනිහ බොරුවක් කිව්වද දන්නෙ නෑ… තවාන් කියන්නෙ හඳටද දන්නෙත් නෑ…

තවාන් හැම තිස්සෙම හිනාවෙලා ඉන්න , හරිම අහිංසක පෙනුමක් තියෙන කෙනෙක්. සාමාන්‍ය තායි ජාතිකයන්ට වඩා තරමක් උස මහත ශරීරයක් තමයි තිබුණෙ…. නමුත් මිනිහ මාත් එක්ක හිනාවුන හැම වෙලාව්කම මිනිහගෙ හිනාවෙ මොකක් හරි වෙහෙසක් වගෙ දෙයක් හැංගිලා තියෙනව වගේ කියල මට හිතුණ…

දවසක් හැන්දෑවෙ අපි හිටියෙ Pattaya වෙරළෙ..[ තායි සංචාරයේ මතක වෙනම.. පස්සෙ වෙලාවක..].කට්ටිය ජෙට් ස්කී පදින්න ලෑස්ති වුණා…මම ඉස්සෙලම පටන් ගත්ත සෙට් එකේ… පැය භාගයක් විතර පැදල මම ගොඩට ආව… ඇවිත් එතන තිබුණු බංකු කොටයක් උඩ වාඩිවුණේ මුහුද දිහා ටිකක් බලා ඉන්න… එහකොටයි මම දැක්කෙ අපිව මෙතෙන්ට එක්ක ආපු තවාන් වැල්ලෙ වාඩි වෙලා මුහුද දිහා බලං ඉන්නව…

මමත් එතනට යද්දි තවාන් අර හිනාවෙන් මූණ පුරෝගත්ත…

“බොමුද බියර් එකක්…?” තවාන් ඇහුව… නාල ගොඩට ඇවිත් තෙත පිටින්ම කූල් බියර් එකක් බොන එකේ ආතල් එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ… මමත් OK කියල අපේ ඇඳුම් තියෙන තැනින් පර්ස් එක අරන් තවාන් ට භාත් සීයක් දුන්න දෙකක් ගේන්න කියල…. මට මතක හැටියට එතකොට San Miguel බියර්[තායිලන්තෙ හරි ජනප්‍රිය බියර් එකක්]එකක් භාත් විසි පහක් විතර ඇති… මිනිහ බියර් දෙකක් අරන් ඇවිල්ල වාඩි වුණා. මට බියර් එක දීල… ඉතුරු සල්ලි දෙන්න හදද්දි මම කිව්ව ඒක තියා ගන්න කියල… මිනිහ ඒ ගමන වැඳල ඒක බාරගත්ත..[කියන්න බැරි වුනානෙ.. තායි ජාතිකයො කෙනෙක් සල්ලි දුන්නහම ගන්නෙ වැඳල… බටහිරයන්ගෙ තැනක් වෙච්ච Pizza Hut එකේ පවා කැෂියර්ට සල්ලි දුන්නහම ගන්නෙ වැඳල… තාමත් එහෙමද දන්නෙ නෑ… මේ කියන්නෙ අවුරුදු නවයක් දහයක් පරණ කතාවක්]

මිනිහ සල්ලි අරන් සාක්කුවෙ දාගන්නෙ නැතුව, මිනිහ හැම තිස්සෙම නයි මල්ල වගේ කරේ එල්ලං ඉන්න sling bag එක ඇරල මම ඒ වෙනකම් කවදාවත් දැකල තිබුණෙ නැති දෙයක් එළියට ගත්ත… ඒක සල්ලි දාන කැටයක්, ඒත් අපි දන්න කාසි කැට වගේ නෙමෙයි ..නෝට්ටු කොළ දාන්නම හදපු එකක්…සල්ලි නෝඅට්ටුවක හැඩේට තරමක් ඝනකමට තුනී ඇලුමිනියම් තහඩු වලින් හදපු, එක පැත්ත්කින් සල්ලි දාන්න කටක් කපපු එකක්… මිනිහ මම දුන්න නෝට්ටුව ඒකට දාගත්ත….

මම ඇහුව මොකද එහෙම කළේ කියල.. මිනිහ එයාට වැඩකරන ආයතනයෙන් ලැබෙන පඩිය විතරලු වියදමට ගන්නෙ.. අමුත්තන්ගෙන් ලැබෙන ටිප් ඔක්කොම එකතු කරනවලු අර වගේ කැටයක…

මොකටද දන්නවද…

තවාන් කාලයක් ආදරේ කරල විවාහ වෙලා තියෙනව චීන ජාතික තරුණියක් එක්ක… එයාලට පුංචි දුවෙකුත් ඉන්නවලු….තවාන්ගෙ පවුලෙ දේපොළ ප්‍රශ්නයක් නිසා මිනිහට ගෙදර අහිමි වෙලා.. දැන් මිනිහට හරියකට ඉන්න ගෙයක් නැහැල්ලු… ඒක නිසා මිනිහගෙ පවුල මිනිහගෙ පුංචි දුවත් අරන් උන්දැගෙ ගෙදර ගිහින්… ඒ පවුලෙ චීන්නු කට්ටිය තවාන් ට දරුව බලන්නවත් දෙන්නෙ නැහැල්ලු… ඉතින් මිනිහ හදන්නෙ සල්ලි එකතු කරල පුංචි ගෙයක් ගන්න… තමුන්ගෙ දුව ව තමුන්ගෙ ළඟට ගන්න…
මට මිනිහ පර්ස් එක ඇරල බෝනික්කෙක් වගෙ පුංචි බබෙක් ගෙ පින්තූරයක් පෙන්නුව.. ඒ පුංචි දුව….

තායි ජාතිකයෙක් එක්ක කතාකරල තියෙන ඕන කෙනෙක් දන්නව ඇති ඔවුන්ගේ ඉංග්‍රීසි උච්චාරණය හරිම දුර්වලයි… තේරුම් ගන්න අමාරුයි.. ඒත් මිනිහගෙ හිනාවෙ හැංගිලා තියෙන දුක මට තෙරුම් ගන්න ඒ කතාබහෙන් හොඳටම පුළුවන් වුණා…

මිනිහ ඒ විස්තරේ කියල මට කිවුව… “මම මෙහෙම සල්ලි එකතු කර ගන්නකොට අර base ball glove එක ගන්න හිතපු දරුවට සිද්ධ වෙච්ච දේ වෙයිද දන්නෙ නෑ” කියල…
මම ඒ ගැන ඇහුවම මට තවාන් ඒ කතාව කිව්ව…

ඒ කතාව මේකයි……

එක කාර්මික ජනපදයක හිටපු එක කර්මාන්ත ශාලා සේවකයෙකුට හිටියලු අවුරුදු දොළහක් වයස පුතෙක්.මේ දරුව හරිම ආසයිලු බේස් බෝල් ක්‍රීඩාවට.. ඒත් අර දුප්පත් කර්මාන්ත ශාලා සේවකයට පුළුවන් වුණේ නැහැ අර දරුවට බේස් බෝල් ක්‍රීඩාවට ඕනෙ කරන අත් වැසුමක් අරන් දෙන්න…අර දරුව තමන්ගෙ අසල්වැසි යහළුවො ක්‍රීඩා කරනකොට ආසාව නිසා යනව ක්‍රීඩා කරන්න… ඔහු පාවිච්චි කරන්නෙ තමන්ගෙ තාත්ත කර්මාන්ත ශාලාවෙ වැඩ කරනකොට පාව්ච්චි කරල අහක දාපු රළු හම් අත්වැසුමක්.. මේ දරුව මේක නිසා අසල් වැසි ළමයින්ගෙ උසුළු විසුළු වලට හැමදාම ලක් වුණා.. ඒ විතරක් නෙමෙයි ඒ අත්වැසුම ඒ දරුවගෙ අතට ලොකුවැඩි නිසා හැමතිස්සෙම ගැලවිලා වැටෙනව…

දවසක් මේ ජනපදයෙ තියෙන කුඩා නගරයට මේ දරුව ගිය වෙලාවක එහි එක් සාප්පුවක වීදුරු කැබිනට්ටුවක ඔහුගෙ වයසට ගැලපෙන බේස්බෝල් අත්වැස්මක් දැක්ක.. ඔහු ආසාව වැඩිකමට ඒ සාප්පුව අයිතිකරුට කතාකරල අර අත්වැසුම අතට දාල බැලුව… හරියටම ඔහුගෙ අතේ ප්‍රමාණයට ගැලපෙන අත්වැසුමක්..! යන්තම් වත් බුරුල් නැහැ.. ඉතින් ගැලවිලා හැලෙන්නැතුව සෙල්ලම් කරන්න පුළුවනි මේ අත් වැසුම තියනවනම්….!! කුඩා අත්වැසුමක් නිසා මිලත් අඩුයි..

ඒත්….,

ඔහු දන්නව ඔහුගෙ පියාට මේ වගේ දේකට වියදම් කරන්න පුළුවන් කමක් නැති වග… ඔහු ඒ අත්වැසුමෙ මිල අහගෙන ගෙදර එනව… ඇවිත් හිතා ගන්නව මම කොහොම හරි ඒ අත් වැසුම ගන්නව කියල… ඔහු කැටයක් අරගෙන ඔහුට ලැබෙන කාසි එකතු කරන්න ගන්නව…

ඔහු කර්මාන්ත ශාලා කළමනාකරුවන්ගේ ගෙවල් වල මිදුලෙ තණකොළ කපන්න, උදුන් වල අඟුරු අස් කරන්න වගේ වැඩ කරල දීල ලැබේන මුදල් කැටේට දාල එකතු කරනව… ඔහු මාසෙකට පස්සෙ නගරෙට යනකොට පපුව ගැහෙමින් යන්නෙ ඔහුගෙ අතට හරියටම ගැලපෙන ඒ අත් වැසුම විකිණිලාද කියල… එත් ඒක තියෙනව.. තාම ඔහු ලඟ තියෙන මුදල් මදි….

ඔහු ඒ මුලු ගිම්හානයම වැඩකරනව ඒත් ඔහුට ලැබෙන කුඩා කාසි එකතුව මදි ඔහුගෙ අත් වැසුම ගන්න… ඔහු වෙහෙස නොබලා ශීත සෘතුවෙත් වැඩ කරනව… පොහොසතුන්ගෙ ගෙවල් වල පියෙසි වල හිම සූරන්න… අඩිපාරවල් පාදන්න වගේ වැඩ අධික සීතල දරාගෙන ඔහු කරන්නෙ අර අත්වැසුම විකිනෙන්නට පෙර මිලදී ගන්න ඔනේ නිසා…

අන්තිමේදි…,

එක රෑක ඔහුගෙ කැටේ තියෙන මුදල් ගණන් කරල බලපුවහම අත්වැසුම ගන්න ඔනෙ මුදල එකතු වෙලා තියෙනව….!!!
පහුවදා උදේම ඔහු සූදානම් වෙලා නගරයට යන්නෙ ඔහුගෙ අතට හරියටම ගැලපෙන අත්වැසුම ගන්න… ඔහු අර සාප්පුවට ගිහින් අත් වැසුම තිබුණු කැබිනට්ටුව දිහා බලනව…

ඔහුගෙ හිතෙන් බයවෙලා හිටියෙ ඒක විකිණිලාද කියල.. ඒත් ඒක එතැනම තියෙනව…

මේ දරුව සාප්පුව අයිතිකාරයට කතාකරල කියනව “මම සල්ලි එකතු කර ගත්ත… මම මේ අත් වැසුම ගන්නයි ආවෙ” කියල… සාප්පු අයිතිකාරය කැබිනට්ටුව ඇරල අත්වැසුම අරන් අර දරුවට දෙනව.. ඉහවහා ගිය සන්තෝසෙන් ඔහු ඒක අතට දාන්න බලනව…

අනේ….

ඒ මුදල් එකතු කරගන්න මෙච්චර කල් ගතවෙනකොට ඒ දරුව වැඩිල… ඒ දරුවගේ අත දැන් ලොකුයි…

ඔහුගෙ අතට තවදුරටත් ඒ අත් වැසුම දාන්න බැහැ…!!


ප.ලි..
අපි සංචාරය ඉවරකරල එද්දි කට්ටිය සල්ලි එකතු කරල තවාන්ට තෑග්ගක් අරන් දුන්න.. මම කිව්ව මගෙ සල්ලි ඉවරයි සම්මාදම් වෙන්න විදිහක් නෑ කියල… මම අපි එන්න කලින් දවසෙ රෑ තවාන් එක්ක කොෆී ශොප් එකට ගිහිල්ල කෝපි එකක් බීල මට ඒ වෙලාවෙ හැටිය දෙන්න පුලුවන් වුනු උපරිම හැටියට සල්ලි ටිකක් දුන්න අර කැටේට දාගන්න…


පින්තූරෙ ගත්තෙ මෙතැනින්..http://sportsbagblog.com/four-easy-steps-to-breaking-in-your-baseball-gloves/

ටැක්සි රියදුරා සහ ආයතනික ප්‍රතිපත්ති

July 2, 2011

මේක මම අහපු කතාවක්…
මට නම් හොඳින් මතක හිටපු කතාවක්… මම මේකෙ තාම කතන්දරයක් දැම්මෙම නෑනෙ.. ඉතින් මේක ලියල දාන්න ඕනෙ කියල හිතුව…

මට මෙ කතාව කිව්වෙ ජොර්දානයෙ අම්මාන් නගරයෙදි කුලී රථ රියදුරෙක්…

ජොර්දානය ඇවිල්ල මැදපෙරදිග තියෙන වෙනස්ම රටක්…තුන්වෙනි ලෝකයෙ කියන්නෙ.. ආයි ඒකෙ හොඳම එක… ඒ තරම් ආදයම් විෂමතාවයක් තියෙන රටක් මගෙ ජීවිතේට දැකල නෑ…

හොඳම උදාහරණයක් කියන්නම්…

මමයි අපෙ සපතේරු හාමිනෙයි ඒ කාලෙ නැවතිලා හිටියෙ බටහිර අම්මාන් කියන ප්‍රදේශයෙ ගෙදරක… අපි තට්ටු තුනක් තියන ගෙදරක බිම් මහල තමයි කුලියට අරන් හිටියෙ.ඒ ගෙදර අයිතිකාරය Royal Jordanian ගුවන් සේවාවෙ chief pilot… ගෙදර අපි හිටපු කොටස හැර මුලු ගෙදරම ඔහුගෙ පවුලෙ කට්ටිය තමයි පාවිච්චි කළේ… ගෙදර පාව්ච්චියට Mercedes-Benz කාර් එකකුත් අලුත්ම Mitsubishi Montero ජීප් එකකුත්,Hyundai Santa Fe වර්ගයෙ ජීප් එකකුත්,ජොර්දානයෙ මුලින්ම ලියාපදිංචි කරපු ඇන්ටික් Citroën කර් එකකුත් තියෙනව…

ඊ ළඟට….

අපි හිටපු ඒ ගේ පහු වුණ ගමන්ම පාරෙන් අනිත් පැත්තෙ ඉන්නව තව පවුලක්.ඔරිම ඔරිජිනල් බදුවින්වරු… ගෙයි බිත්ති හදල තියෙන්නෙ ලංකාවෙ ගල් වැටි බඳිනව වගෙ ගල් එක උඩ එක තියල… ගේ වටේම බැටළු ගාල…

උදේට මම දකිනව අපේ පයිලට් මහත්තය අර කියපු ඒවයින් එක වාහෙනේකින් airport එකට යනව airbus එක පදවගෙන Newyork හරි Dalas හරි යන්න.. ඒ වෙලාවටම අපේ එඬේර මහත්තය බූරුවගෙ පිටෙ නැගල බැටළු රැළ දක්කගෙන එ පාරෙම යනව හිස් ඉඩම් තියන තැනකට බැටළුවන්ට තණකොළ කවන්න….මවාගන්නකො විෂුවල් එක …..( දැන් නැවතිලා ලියනකොට සඳරු මලයගෙ ගම මතක් වුණා ).

කතාව පිට ගියා… ජොර්දානෙ ගැන වෙනම ලිව්වොත් හොඳා වාගෙ…

ඉතින් මම දවසක් ටිකක් ඈතක ඉඳන් ගෙදර එන්න ටැක්සියකට නැග්ගහම ඩ්‍රයිවර් ඉංග්‍රීසියෙන් කතා කළා…( ඉතින් ඕක ලියන්න දෙයක්ද..?.. ඔව්… ! එහේ 98% ටැක්සි ඩ්‍රයිවර්ල කතාකරන්නෙ අරාබි ) මමත් සතුටු වෙලා වල් පල් කතා කර කර ආව… මට තෙරුන මිනිහ අනික් ටැක්සි ඩ්‍රයිවර්ලට වඩා මොකක්ද වෙනසක් තියෙන බව…

මම ඇහුව තව මොකුත් රස්සවක් කරන ගමන් මේක පාට් ටයිම්ද කරන්නෙ කියල… පොර කියනව නෑ මම කර කර හිටපු රස්සව අතෑරල මෙක ෆුල් ටයිම් කරන්නෙ කියල… බැලින්නම් පොර උපාධිධාරී වාරිමාර්ග ඉන්ජිනේරුවෙක්… ( මට කලින් වැඩකරපු තැන බිස්නස් කාර්ඩ් එකකුත් පෙන්නුව )..
( මට එවෙලෙ හැබයි හිනාවකුත් යන්න ආව.. මොකද පොර කියන්නෙ ඇත්ත වුනාට මට මේකෙ අමුතු උත්ප්‍රාසයක් තියෙනව… ඇයි දන්නවද ජොර්දානය කියන්නෙ පොළොවෙ ගලන මෙලෝ වතුරක් නැති රටක් ).

ඒ ගමන මම ඇහුව මොකද ඒ රස්සාවෙන් අයින් වුණේ කියල, පොර කියනව “මම එතන ආයතනික ප්‍රතිපත්ති වලට කැමති වුනෙ නෑ” (I didn’t like the company policies over there ) කියල…. පස්සෙ company policies ගැන කතාව ඇදිල ගියා.. මමත් අපේ company තියෙන වැඩකට නැති policies ගැන කිව්ව… එතකොට තමයි පොර මට මේ කතාව කිවුවෙ… ( පොරට මේක කියල තියෙන්නෙ කලු ඇමරිකානුවෙක් ).

කතාව මේකයි……

ඔන්න ලොකු කූඩුවකට වඳුරො පස් දෙනෙක් දානව…

කූඩුවෙ වහලෙ කෙසෙල් ඇවරියක් එල්ලල තියෙනව.. එතනම ඒකට නගින්න ඉණිමගකුත් තියෙනව….

ටික වෙලාවකින් එක වඳුරෙක් ඉණිමගේ නැගල කෙසෙල් ඇවරිය ගන්න හදනවනෙ… එතකොට්ම අනිත් වඳුරන්ට පට්ට සීතල කරපු තද වතුර පාරක් විදිනව….
අර වඳුර අතනින් අහක් වුණ ගමන්ම වතුර නවත්වනව…
ආයි ටිකකින් තව එකෙක් කෙසෙල් ගෙඩි වලට කිට්ටු කරනව… එතකොටම ආයි ජල ප්‍රහාරෙ දෙනව… වඳුර අයින් වුණ ගමන් නවත්වනව…
ඊළඟ පාර…….
වඳුරෙක් කෙසෙල් ගෙඩි වලට කිට්ටු කරනකොටම අනික් වඳුරො සෙට් එක පැනල ඌව නවත්තනව…. ඇයි දන්නවනෙ ඌ ගියොත් අනික් උන්න්ට ශීත ජල ප්‍රහාරය ෂුවර් කියල…

ඊළඟට…. එක වඳුරෙක් අයින් කරල අලුත් වඳුරෙක් දානව… ඌ මේ ජල කතාවක් මොකුත් දන්නෙ නෑනෙ… ඌ කෙළින්ම කෙසෙල් ඇවරියට කිට්ටු කරනව… එතකොටම කලින් ජල ගුටි කාපු සෙට් එක පැනල මූට නෙළනව අම්බානකට… අනේ ඌ පැත්තකට වෙනව… දැන් තව ජලගුටි කාපු එකෙක් අයින් කරල අලුත් එකෙක් දානව … ඌටත් අර සන්තෑසියම්යි…
මදිවට….. අර ජල කතා මොකුත් දන්නෙ නැතුව අනිත් උන්ගෙන් ගුටිකාපු වඳුරත් පැනල අලුත් එකාට නෙළනව ඌ කෙසෙල් ඇවරියට කිට්ටු කරපු ගමන්ම…

ඇයි..??……. “මෙතන එහෙමයි වැඩ සිද්ධ වෙන්නෙ !!”

ඔහොම එක එක එකා අයින් කරල, අලුත් උන් එකතු කරල දැන් කූඩුවෙ අර මුලින්ම ජල ප්‍රහාරයට ලක් වෙච්ච එක වඳුරෙක්වත් නෑ…

ඒත්…

කොයි වෙලාවක හරි කොයි වඳුරෙක් හරි අර කෙසෙල් ඇවරිය අල්ලන්න හැදුවොත් අනිත් උන් පැනල බිම දාගෙන නෙළනව…

ඇයි…?……..”මෙතන එහෙමයි වැඩ සිද්ධ වෙන්නෙ !!”

ඔය කතාව කියල ටැක්සි ඩ්‍රයිවර් මට කියනව…..

“That is how company policies are made…”

( “ඔන්න ඔහොමයි ආයතනික ප්‍රතිපත්ති කියන ඒව හැදිල තියෙන්නෙ” ) කියල.

පාදඩයා – 2 – සාපේක්ෂතාවාදය

June 18, 2011

මේ දවස්වල පට්ට බිසී..

අපි ඉන්න අරාබි හන්දියෙ ( වචනෙ දුමීගෙ ) මුදල් වර්ෂය ඉවර වෙන්නෙ ජූනි මාසෙන්. ඉතින් මේ දවස්වල පහුගිය අවුරුද්දෙ වෙළඳාමෙ ප්‍රගති සමාලොචන, එන අවුරුද්දෙ වෙළඳාමට උපාය මාර්ගික සැලසුම් හදන්න, වගෙ අටෝරාසියක් වැඩ…

එත් ලියන්න පටන්ගත්ත මුලම නොලිය අරින්න හොඳ නැති නිසා පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවෙ..

මේකෙ නමට සාපේක්ෂතාවාදය කියල දැම්මට මම නම් ඔය ඇල්බට් අයින්ස්ටයින් උන්නැහෙ හොයාගත්තයි කියන සාපේක්ෂතාවාදය ගැන නම් මෙලෝ හසරාමයක් දන්නෙ නෑ….
මම මෙතෙන්දි සාපේක්ෂතාව කියන වචනාර්ථය විතර්යි ගත්තෙ ඕං. වියතුන් සභා මැද කතන්දර කියන්න කලින් ඒක කියල ඉන්න එපැයි…

එක අතකට සාපේක්ෂතාව කියන එකත් හරි පුදුම දෙයක්… ඕක මේ හැමතැනම තියෙනවනෙ… දැන් ඔය භාෂාවල තියෙන විශේෂණ වලින් වැඩිහරියක් ( පාට ගැන ඇර අනික් ඔක්කොමද මන්ද ) කරන්නනෙ මොකක් හරි ගුණයක් තව එකකට සාපේක්ෂව විස්තර කරන එකනෙ… දෑන් බලන්න උස ළමයා කියන්නෙ කොට ළමයාට සාපේක්ෂවනෙ…හොඳ ළමයා කියන්නෙ නරක ළමයාට සාපේක්ෂවනෙ… හැම තැනම එහෙමයි…

මං දැක්ක මේ ළඟදි නලීන් ද සිල්ව උන්නැහෙ කියල තියෙනව ඔය ඉර වටේ පොළොව කැරකෙනව කිව්වට ඔන්නම් පොළොවට සාපේක්ෂව ඉර පොළොව වටේ කැරකෙනව කියලත් කියන්න පුළුවන්ලු…. ඔය නිරපේක්ෂ චලිතයක් කියල දෙයක් නෑ කියන්නෙ .. අනේ මං දන් නෑ ඕව..


මගෙ කතාව ඕක නෙමෙයි මගෙ කතාව මේකයි…..

කලින් පෝස්ට් කියවපු දහ පහළොස් දෙනා නම් දන්නව කොල්ලුපිටියෙ පාර අයිනෙ හිටපු පාදඩය ගැන.ඒ කතාව මෙතැන ඇති. මේ කථාවත් පොර ගැනම තමා…

මට දවසක් පොරගෙන් සාපේක්ෂතාව ගැන හොඳ පාඩමක් හම්බවුණා..

කලින් සිද්ධිය වුණාට පස්සෙ අපිට පොර ගැන පොඩි රෙස්පෙක්ට් එකක් ඇතිවුණා.ඉතින් අපි ඔතනින් යන ගමන් පොර මොකද කරන්නෙ කියල බලනව.. සමහරදාට පොර මොනවද කුරුටු ගානව.. සමහරදාට පරණ ඉංග්‍රීසි පොත් කියවනව….

කොහොමටත් අපිට තේරුණා පොර වැදගත් පවුලක එකෙක් මේ හිඟන්න වෙලා හිටියට කියල….

දවසක් මම ඔතනින් තනියම යන වෙලාවක පොර දුමක් ගහගෙන කල්පනාවක ඉන්නව.මමත් නිකම් යන ගමන් පොරට කීයක්වත් දෙන්න ඕනෙ කියල හිතල රුපියල් 5 ක් දුන්න. ( ඔන්න කියවන කට්ටිය අවඥාවෙන් බැලුව… එහෙම බලන්න්ට කාරි නෑ ඔය කියන කාලෙ පාන් රාත්තලක් තුනයි පනහයි….නෑ ..නෑ… හැට ගනන් වල නෙමෙයි… අනූ ගනන් වල මැද හරියෙ… ).

දීල මටත් නිකම් ඉන්න බැරි කමට පොරත් එක්ක ටෝකක් දාන්න ඔනෙ කියල හිතිල මම ඇහුව..

“I can see that you are from a respectable family, but why do you live in the street like a beggar ?”

( “තමුන් වැදගත් පවුලක කෙනෙක් වග පේනව, ඇයි මෙහෙම හිඟන්නෙක් වගේ පාරෙ ඉන්නෙ ?” ) කියල ….

පොර ගත් කටටම කිව්වෙ මොකක්ද දන්නවද…

” You compare yourself with the beggar, and you feel like a king ; but if you compare yourself with the king , you will feel like a beggar ! “

( ” උඹ හිඟන්නව උඹට සන්සන්දනය කළහම හිතෙන්ව උඹ රජෙක් වගේ කියල,හැබැයි උඹ උඹව රජාට සන්සන්දනය කළොත් හිතෙයි උඹ හිඟන්නෙක් වගේ කියල ” )

ඔන්න මම රුපියල් පහකට ඉගෙන ගත්ත සාපේක්ෂතාවාදය… පාඩු නෑ නේද..?

ලොං දුන්න

June 7, 2011


මේක මං පොඩිකාලෙ වෙච්ච සිද්ධියක්..

ඒත් එදා මට දැනුණු ඉතාම සියුම් කම්පනය එදා ඉඳන්මත් ,අවුරුදු 23 ක් විතර ගෙවිලත් තාමත් මට මිනිස්සුත් එක්ක තියෙන හිතවත්කම් වලදි කාගෙවත් හිත් නොරිද්දන්න පරිස්සම් වෙන්න උදව් වෙනව…..
ඒක නිසා වෙන්න ඇති මාව කිට්ටුවෙන් ඇසුරු කරපු ඕනෙ කෙනෙක් මං ඈත් වෙද්දි දුක් වෙන්නෙ…

මේක වෙන කාලෙ මම ඉස්කෝලෙ හොස්ටල් එකේ නැවතිලා හිටියෙ….. මම නිවාඩුවට ගෙදර ගිය දවසක මට අපේ ජෑන්ත අයිය ලොං දුන්නක් හදන හැටි කියල දුන්න… එයාට ඒක කියල දීල තියෙන්නෙ කළුබණ්ඩගෙ පුතාලු….

කළුබණ්ඩල ගැනත් පේළි දෙකක් ලියල ඉන්නම්කො ලොං දුන්න ගැන ලියන්න කලින්…

අපේ අයිය කෙනෙක් ඉන්නව කැලෑ මහත්තයෙක් , (ඔය මං කියපු ජෑන්ත අයියගෙ මල්ලි – මේ දෙන්නම අපේ ලොකු නැන්දගෙ පුතාල ) එයා කාලයක් ඔය බදුල්ල පැත්තෙ කැලේ වවන මොකක්ද ව්‍යාපෘතියක් කළා, කළුබණ්ඩල ඉන්නෙ අන්න ඒ පැත්තෙ , බදුල්ලෙනුත් හැතැක්ම තිහ හතළිහක් ඇතුලෙ තියෙන කැලෑ ගමක…එයාල සිංහල මිනිස්සු වුණාට වැදි ජනාවටත් වඩා කටුක ජීවිත ගතකරන්නෙ..

ඔය කළුබණ්ඩගෙ පුතා අවුරුදු 12 ක විතර ළමයෙක්… හතැක්මක් විතර ඈත තියෙන ගෙදර ඉඳන් කලු බණ්ඩගෙ රෑ කෑම එකත් අරන් අඳුර වැටීගෙන එන වෙලාවට මේ ළමය එනවලු තවානට (කළුබණ්ඩ තමා අර කැලෑ වැවිල්ලෙ තවාන් වල මුරකාරය) ..අපේ ජෑන්ත අයිය එහේ ගිහින් හිටපු දවසක මේ ළමය පරක්කු වෙලාලු ආවෙ, අහල බැලුවහම මොකද කියල මග තනි අලිය හිටිය ඌ යනකම් හිටිය කිව්වලු.. කොහෙද හිටියෙ කියල ඇහුවම කිව්වලු ” මඤ්ඤොක්ක ගහක් උඩ නැගල හිටිය ” කියල… එයාලගෙ එදිනෙදා ජීවිත එහෙමයි…

මොකක්ද මේ ලොං දුන්න කියන්නෙ…?

ඒක මේ කුරුල්ලො අල්ලන්න ගන්න උගුලක්.. ඔය උඩ තියෙන පින්තූරෙ තියෙන්නෙ ලොං දුන්නක් තමා.. ( ඔය පින්තූරෙ ගැන යමක් කියන්න තියෙනව තව ටිකකින් කියන්නම් ).

ඔය කළුබණ්ඩගෙ පුතාල හේන් ගිරවුන්ගෙන් පරිස්සම් කරන්න ගියහම ඕව අටවනවලු ගිරවු අහුවෙන්න… දවසක් ජෑන්ත අයිය ඇහුවලු අහුවෙන ගිරවු ඇති කරනවද කියල…එතකොට කිව්වලු ” අපි නං තලා හොදි කනව ” කියල.

මේක කියවන කාටවත් වැඩක් නැතත් මේක මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න එපැයි …ඕක වැඩකරන්නෙ මෙහෙමයි….

ඔය දුන්න වගේ තියන එකට දාල තියෙන්නෙ දෙපොටක් තියෙන නූලක්.ඒ නූල ගැටගහල තියෙන්නෙ එක පැත්තකින් විතරයි. අනිත් පැත්තෙදි ඒ ලීයෙම තියෙන සිදුරක් ඇතුළෙන් යවල දුන්න වගේ හොඳට නැමෙන්න ඇදල පොඩි කූඤ්ඤ කෑල්ලකින් තදකරනව. ඒ කූඤ්ඤ කෑල්ල උඩදි අර නූලෙ පොටවල් දෙක ඈත් කරල ( තොණ්ඩුවක් වගේ ) තියනව. මෙන්න මෙහෙම …..

දැන් ඔතන මොනව හරි කෑමට දෙයක් තිබ්බහම කුරුල්ලෙක් ඇවිත් කූඤ්ඤ කෑල්ල උඩ වැහුවොත් කූඤ්ඤ කෑල්ල ගැලවිල කුරුල්ලගෙ කකුල තොණ්ඩුව ඇතුළට යනව ..නූල release වුනහම දුන්න දිගඇරිල නූල කුරුල්ලගෙ කකුලත් එක්ක අර සිදුර ලඟට ගිහින් හිරවෙනව, මෙන්න මෙහෙම….

ඔය පින්තූර ගැන කියන්න තියෙන කථාවත් හරි පුදුම එකක්… මම මේක ලියන්න ගත්තහම තමා තෙරුණේ මේක කියවන කෙනෙකුට ලොං දුන්න පැහැදිලි කරන්න පින්තූරයක් තිබුණොත් හොඳයි නේද කියල…

ඉතින් net එක පීර පීර හොයනකොට හරියටම ලොං දුන්නක පින්තූරයක් හම්බවුණා…. එත් කළුබණ්ඩල ගැන article එකක නෙමෙයි… Ojibwe කියන රතු ඉන්දියානු ගෝත්‍රිකයො ගැන කියනarticle එකක…. පුදුම නැත්ද … ලංකාවෙ මේ බදුලු කැලේ ඉන්න කළුබණ්ඩගෙ පුතාලයි, උතුරු ඇමෙරිකාවෙ ඉන්න Ojibwe ගෝත්‍රිකයොයි දෙගොල්ලොම කුරුල්ලො අල්ලන්න ලොං දුන්න අටවනව කිව්වම…..

ඒක ගැන දේශපාලනික තෙරුමකිනුත් ගන්න පුළුවන් වාක්‍ය කෑල්ලක් දාන්නද…..

“ලෝකෙ කොයි කොනේ හිටියත් මිනිස්සුන්ට තියෙන එක වගේ ප්‍රශ්න වලට තියෙන්නෙ එක වගේ විසඳුම් …”


මගෙ කතාව ඕක නෙමෙයි, කතාව මේකයි…..

මං හොස්ටල් එකේ ඉන්න කාලෙ කාලයක් අපේ පොඩි ක්ලික් එකක් තිබුණ …. එහෙම එව කාලෙන් කාලෙට තියෙනව.. ( හොස්ටල් ජීවිතේ ගැන වෙනම කතාකරන්න ඔනෙ…. මට නම් හිතෙන්නෙ හොස්ටල් එකක ගත කරන කාලෙ ජීවිතය ඇතුළෙ ජීවිතයක් වගේ කියල.. හරියට ඉන්දියාව කියන්නෙ ලෝකෙ ඇතුළෙ තියන ලෝකයක් කියනව වගෙ ).

මේකෙ සාමජිකයො තුන් දෙනයි මමයි,සිසිලුයි, කාන්තයයි…

අපි තුන් දෙනාම බාලදක්ෂයො… එකම කණ්ඩායමේ ….

ඔය කාලෙට මොනව කළත් ඉතින් ඒක ජීවිතේම කර ගන්නවනෙ… මුද්දර එකතු කරන එකා ගෙදරින් කෑම ගන්න දෙන සල්ලි වලින් මුද්දර අරන් බඩගින්නෙ ඉන්නව… kadeting කරන එකා තට්ටෙ වගෙ හිටින්න කොණ්ඩෙ කපාගෙන, බුරිය ළඟට හිරව්න්න කලිසම ඇඳල,වැසිළියට ගියත් ඇවිදින්නෙ වම.. දකුණ.. වම හරියට තියල…

ඉතින් බාලදක්ෂයොත් ලොකු වෙනසක් නෑ..මොකද අපේ ඒ කාලෙ කියමනකුත් තියෙනව ” once a scout is always a scout ” ( ” වරක් බාලදක්ෂයෙක් වූ කෙනෙක් සැමවිටම බාලදක්ෂයෙකි”) කියල…. ඉතින් අපිත් ලණු කෑලි , පොලු කෑලි ,පිහි , ගිනිපෙට්ටි වගෙ අනිත් උන් පවිච්චි කරන්නෙ නැති බඩු වලින් තමා වැඩ…එකපාරක් උඩ තට්ටුවට නගින්න හැදුව වැල් ඉනිමඟක් ( යසට පඩි පෙළ තියෙද්දි ). තව සැරයක් හැදුව tree hut එකක්.. ඒකනම් සෑහෙන්න නැගල ගියා…

ඔන්න ඔය කාලෙ තමයි මම නිවාඩුවට ගෙදර ගිය වෙලේ ජෑන්ත අයිය මට ලොං දුන්න හදන හැටි කියල දුන්නෙ…

මං නිවාඩුව ඉවර වෙලා ආපු ගමන්ම අපේ අනිත් දෙන්නට වැඩේ ගැන brief කළා in detail… අපිට ඒ කාලෙ තිබ්බ ලොකුම හිසරදයක් තමා කාක්කො.. ( කොළඹ නගරසභා සීමාව ඇතුළෙ කාලයක් හිටපු ඕන කෙනෙක් මේක දන්නව )… දැන් වැඩේ ප්ලෑන් කළා කාක්කන්ට ගේම දෙන්න…

අපේ පිහි හෙම අරගෙන කෝටු කපාගෙන වැඩේට බැස්ස… මමයි සිසිලුයි තමා වැඩේ කරන්නෙ.. කාන්තය තමා සහයට ඩැනී.. මොකද ඌට මගෙ briefing එක හරියට තේරුණේ නෑ (මොකෝ ඒ කාලෙ net එක තිබුණයැ මේ පින්තූර පෙන්නන්න…) අපිට කොච්චර කළත් මේක හරියට අටවගන්න බෑ… දුන්න ගැස්සිල ..මගෙයි සිසිලයගෙයි දෙන්නගෙම ඇඟිලි අහුවුණා ඇඟිලි පුරුක් වලින් කැඩිල යන ගානට… කාන්තය හිකි හිකි ගාල හිනා වෙනව… අපිට මළ…අපි අරූට බැන්න ….

උඹ බලාගෙන ඉන්න හින්ද තමා මේක හරියන්නෙ නැත්තෙ.. උඹේ බැල්ම මේකට මුස්පෙන්තුයි… තෝ පල යන්න මෙතනින් කියල….

ඌ ටිකක් වෙල කුටු කුටු ගගා මොනවද කිය කිය ඉඳල යන්න ගියා…

ටික වෙලාවකින් මට ඇහුණ visitors room එකෙ duty ඉන්න junior කෙනෙක් ඇවිල්ල අන්න කාන්ත අයියලගෙ ගෙදරින් ඇවිල්ල කියල කෑ ගහනව…..

අපි අපේ වැඩේ කරගෙන ගියා… මෙක රඳවන්නෙ කොහොමද කියල හිත හිතා…

තව ටික වෙලාවකට පස්සෙ…පිටිපස්සෙන් සද්දයක් ආව…( අපි වැඩ කර කර හිටියෙ පරණ ඩෙස් බංකු ටිකක් ගොඩ ගහල තිබුණු තැනක )… අපි හැරිල බැලුව…

කාන්තය හරියට අවුරුදු උත්සවේ අලියට ඇහැ තියන්න වගෙ ඇස් වහගෙන, හුණු කෑල්ලක් වගෙ එකක් දික් කරගෙන ඩෙස් වල හැපි හැපි එනව අපි දිහාට… මට හිතාගන්න බැරි තැන මං ඇහුව මොකක්ද යකෝ ඔය කරන්නෙ කියල…

කාන්තය දුන්න උත්තරෙ මේකයි….

” අපේ ගෙදරින් ආව.. තාත්ත අතේ අම්ම අළුව වගෙයක් එවල තුබුණ… උඹලට කෑලි දෙකක් දෙන්න ආවෙ , මම දැක්කොත් ඔය වැඩේ මුස්පෙන්තු වෙනව කියපු හින්ද ඇස් දෙක වහගෙන ආවෙ” කියල…….

මට ලොං දුන්න පොළොවෙ ගහල අඬන්න හිතුණ….