Skip to content

අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් දල්වමු… It is better by far to light a solitary candle , than to curse the darkness …

October 10, 2011

හුඟාක් කාලෙකට පස්සෙ ගිය සිකුරාද මෙහේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙ එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණ… මගේ රැකියාවෙ ස්වභාවය නිසා මට ඒ වගේ දේවල් වලට සහභාගි වෙන්න ලැබෙන්නෙ හරි අඩුවෙන්… මොකද මෙහේ අනෙකුත් රැකියාවන් කරන හැමෝටම වගේ සති අන්තය නිවාඩු… ඉතින් ඒ අය ඔය වගේ එකමුතු වෙලා කරන වැඩ දාගන්නෙ සති අන්තෙට… වෙළෙන්දෙක් වෙච්ච මට ඉතින් හැමෝටම නිවාඩු සති අන්තය තමා සතියෙ ඉතාම කාර්යබහුල දවස් දෙක,.. ඇයි හැමෝම නිවාඩු නිසා ෂොපිං එනවනෙවැ…

ඒත් කාලයක් තිස්සෙ මුණගැහෙන්න බලාගෙන හිටපු දුමීවත් , ජෝජ් අයිය ඇතුළු ” අපේ කට්ටියෙ ” අයවත් මුණගැහෙන්න ලැබෙන අවස්ථාවක් තියෙනව කියල දුකා කියපුවහම, පොඩි දහං ගැටයක් ගහල කලින් පැනල ගෙදර ආව… ඇවිත් දුකා ගෙ සාදර අනුග්‍රහෙයෙන් ප්‍රවාහන පහසුකමුත් සලසගෙන ගිහින් ( අලුත් කාර් එකකින් ඇවිත් මට කාර් එක අඳුරගන්න බැරි වෙලා පොඩි කේස් එකකුත් වුණා )… කාලෙකින් ගතකරපු වටිනාම හැන්දෑව ගතකරන්න ලැබුණ…

මේ පෝස්ට් එක ලියන්න හේතුව වුණේ අන්න එතනදි අහන්න ලැබුණ වටිනා අදහස් ගොඩක් සරලව ඉදිරිපත් වුණ කතාවක්… කතාව පැවැත්වුවෙ CandleAid Lanka කියන සුබසාධන සංවිධානය බිහිකරල එහි සභාපතිත්වය දරමින් මෙහෙයවන කැප්ටන් එල්මෝ ජයවර්ධන කියල මහත්මයෙක්… ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ටතම ගුවන් නියමුවෙක්… (පෝස්ට් එකේ මෙතනින් එහාට ඒ මහත්මයව හඳුන්වන්නෙ කැප්ටන් කියල.. )

කැප්ටන්ගෙ කතාවෙන් එයා උත්සාහ කලේ.. සෑම මනුස්සයෙකුටම තමන් මොන තත්වයක හිටියත් තවත් මනුස්සයෙකුට යම් උදව්වක් කරන්නට අවස්තාවක් ඇති බව තේරුම් කරල දෙන්නත්… එහෙම කරන එක යුතුකමක් නේද කියල මතක් කරලදෙන්නත්…

කැප්ටන් CandleAid කියන සංවිධානය ඇතිකරල තියෙන්නෙත් ඒක පවත්වාගෙන යන්නේත් ඒ අදහසින්… තමන්ට පුලුවන් විදිහට ලංකාවෙ දුප්පත්කම නිසා මූලික අධ්‍යාපනය අහිමෙවෙන දරුවන්ට… නැත්නම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න බැරි තරුණ දරුවෙකුට ඒ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න පුංචි හරි උදව්වක් වෙන්න කැමති අයට ඒ සඳහා ඉතාම හොඳ channel එකක් හැටියට මට හිතෙන හැටියට මේ සංවිධානය හඳුන්වන්න පුලුවන්…

අපි හුඟ දෙනෙක් උදව් කරන්න කැමතියි… ඒත් අපිට කරන්න පුළුවන් දේ පොඩියි කියල කිසිවක් නොකර ඉන්නව… ඒත් කැප්ටන් මතක් කරල දුන්නෙ අපිට කරන්න පුලුවන් ඉතාම පොඩි දෙයක් වුණත් කරන එක කොයි තරම් වටිනවද කිඅය එකයි…

ඒක පැහැදිලි කරන්න කැප්ටන් ඒ සංවිධානය හරහා ලැබුණු උපකාර වලින් තමන්ගෙ ජීවිතය ජයගත් තරුණයෙකුගෙ කතාවක් අපිට කිව්ව…

කතාව මේකයි…

එක දරුවෙක් ඉන්නව… අපි තිලක කියල කියමු… ඔහුගෙ ඉනෙන් පහල කොටස සම්පූර්ණ්යෙන්ම ආබාධිතයි… ඉතාම දුප්පත් අම්ම හුඟාක් මහන්සි වෙනව මේ දරුවට යම් කිසි අධ්‍යාපනයක් ලබා දෙන්න…

ඒත් ඔහුට ඇවිදින්න බෑ… පාසැලට ඔසවාගෙන යන්න ඕනෙ… කිසි කෙනෙක් උනන්දුවක් නෑ ඔහුට උගන්වන්න… ඉතාම දුක්බර තත්වයක් යටතෙ තමයි ඔවුන් ජිවත් වෙලා තියෙන්නෙ…වයස අවුරුදු දහයක් වෙනකම් ඔහු පාසැල් ගිහිල්ලම නෑ…

ඒත් අම්ම මේ දරුවව ඉස්කෝලෙ යවන එක අත ඇරල නෑ…
ඒ දයාබර අම්ම දවසක් මහ වැස්සෙ කුඩයක් වත් නැතුව මේ දරුවවත් ඉටිරෙද්දකින් පෙරවගෙන ඉස්කෝලෙට උස්සගෙන ගියහම ගුරුවරයෙක් මොකක්ද කියල තියෙන්නෙ … “මේ අබ්බගාතයට උගන්වන්න මේ හැටි මොකට මහන්සි වෙනවද ? ” …

ඒත් ඒ අම්මට ඕන වෙලා තියෙනව “කොහොමහරි මේකට නම ලියන හැටි උගන්වගන්න ” …

එහෙම තත්වයක් තියෙද්දි කැප්ටන්ට මේ ගැන දැනගන්න ලැබිල තීරණය කරල තියෙනව මේ සංවිධානය හරහා ඔහුගෙ අධ්‍යාපනයට උදව් කරන්න… ඔවුන් පටන් ගන්නව… තිලක හොඳින් ඉගෙන ගන්නව… අට්ටාලයක් වගේ ආධාරකයක් ඇතුව තිලක ඇවිදින්න ගන්නව…

මෙන්න මේ අතරෙදි… “තමන් මොන තත්වයක හිටියත්.. තව කෙනෙකුට උදව්වක් කරන්න උවමනානම් පුළුවන්” කියන එකට හොඳ උදාහරණයක් අපිට තිලක දෙනව…

ඔහු දවසක් කැප්ටන්ට ඇවිත් කියනව… “කැප්ටන් මගෙ තව ආබාධිත යාලුවෙක් ඉන්නව ඔහුටත් උදව් කරන්න ප්ළුවන්ද..?” …

කැප්ටන් කියනව “ඔව් අපි උදව් කරමු… මොකක්ද ඔහුගෙ ආබාධය..?”

“ඔහුගෙ අත් දෙකම නෑ..!”

“ඔහු මොකක් කරන්නද කැමති…”

“ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න…!!!”

….ඇත්තටම ඔහුටත් මේ සංවිධානය හරහා උදව් ලැබෙනව…


එක් දවසක සිදුවුණ ඉතාම සංවේදී සිද්දියක් අපට කැප්ටන් කිව්ව…

දවසක් තිලක ත් අර යහලුවත් ඇවිත් තියෙනව කැපටන්ගෙ ගෙදර… එයාලට තේ දෙන්න කියල කැපටන් උඩ තට්ටුවට ගිහින් තියෙනව ටිකකට… සුලු වෙලාවකින් කැප්ටන්ගෙ බිරිඳ දරාගන්න බැරි දුකකින් හඬාගෙන උඩට දුවගෙන ඇවිත් තියෙනව… කැප්ටන් එකවරම පහලට ගිහින් බැලනකොට…

කකුල් දෙකම පණ නැති තිලක අර අත්වාරුවෙ උදව්වෙන් ඇවිදගෙන ගිහින් අත් දෙකම නැති යාලුවට තේ එක පොවනව………….

අපි කී දෙනෙකුට ඒ වගේ හදවතක් තියෙනවද….

….

කතාව ටිකක් කෙටි කරන්නම්…

අද…

එදා අර අම්ම වැස්සෙ ඉටිරෙද්දකින් මුවාකරගෙන “නම ලියන්න උගන්නගන්න” එක්ක ගිය.. වයස දහය වෙන තුරු පාසැල් නොගිය ආබාධිත දරුවා .. තිලක… ලංකාවෙදි ඉතාම හොඳින් ඉගෙනෙගෙන.. විශ්ව විද්‍යාලෙදිත් ඉතා ඉහලින් පංති සාමාර්ථ ඇතුව සමත් වෙලා .. සිංගප්පූරුවෙ විශ්ව විද්‍යාලයකින් ප්ශ්චාත් උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරපු… ආචාර්ය උපාධිධාරී ඉන්ජිනේරුවෙක්…

ඔහුගෙ අත් දෙකම නැති … කකුලෙ ඇඟිලි වලින් පරිගණක යතුරු පුවරුව හසුරුවන යහලුවා… අද ලංකාවෙ ප්‍රසිද්ධ පුද්ගලික රූපවාහිනී නාලිකාවක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හැටියට වැඩ කරනව…

දිරිය මිනිසුනි … අතපය හතරම ඉතා හොඳින් තිබියදීත් ජීවිතය ජයගන්නට කිසි උත්සාහයක් නොගෙන අඳුරට ශාප කරමින් ඉන්නා මිනිසුන් අතර ඔබ දෙදෙනා අපට ආඩම්බරයකි…!!!

………………..

“අපේ කට්ටියෙ” ජෝජ් අයිය මෙතෙන්දි ඉතාම වටිනා ප්‍රායෝගික අදහසක් දුන්න…

මේ වගේ එක් දරුවෙක් වෙනුවෙන් අවුරුද්දක පාසැල් අධ්‍යාපනයට උදව කරන්න අවශ්‍ය වෙන්නෙ දිරාම් 360 ක වගෙ මුදලක්.. ඒ කියන්නෙ මාසෙකට 30 ක්… දවසකට දිරාම් 1 ක්… මම එවෙලෙම ඒක හිතට ගත්ත… අපි කොයි තරම් මීට වඩා නාස්ති කරනවද…( සිගරට් පැකට් එකක් දිරාම් 8 ක් )…මේ වගේ දෙයක් කොයි තරම් පහසුවෙන් කරන්න පුළුවන්ද…

………………….

ප.ලි

මේ වගේ වටිනා අදහසක් ගැන අහන්නට ඒ ගැන නැවත සිතන්නට මෙවැනි අවස්ථාවක් සංවිධානය කල ජෝජ් අයියා ඇතුලු “අපේ කට්ටිය” ටත්… මාව ඒ අවස්ථාවට සහභාගී කරවාගැනීම ගැන දුකා ටත් අවංක ස්තුතිය…

………………….

ඊට ප.ලි
යම් කෙනෙකුට CandleAid ගැන වැඩිවිස්තර දැන ගැනීමට අවශ්‍යනම් ඔවුන්ගේ වෙබ් අඩවිය මෙන්න.

CandleAid Lanka

පින්තූරය ගත්තෙත් එතනින්..

Advertisements
32 Comments leave one →
  1. October 10, 2011 2:23 pm

    CandleAid Lanka වෙබ් සයිට් එකට ගිහින් බලල මොනව හරි උදව්වක් කරන්නම්, ස්තුතිය් දැනුවත් කලාට

    • October 11, 2011 12:55 pm

      ඔව් ඔබා මාම අයියා.. නිකමට ගොඩවෙලා බලන්න… වැඩි අපහසුවකින් තොරව ඉතා වටිනා උදව්වක් කරන්න පුළුවන් වෙයි…

  2. October 10, 2011 2:26 pm

    මචං මම මේ දවසට ඩිරාමේ ව්‍යාපෘතියට සම්බන්ධ උනේ මේ අවුරුද්දේ ඉඳන් . . .

    දුමියයි ජෝර්ජ් අයියයි මේ ගැන කියද්දී මට මතකයි මේ 360 සල්ලි වලින් කරන එක දෙයක් ගැන කියපු දෙයක් මගේ බොක්කටම වැදුනා . .

    “අපි මේ සල්ලි වලින් දුප්පත් ළමයි හාරසීයකට වැඩි ප්‍රමානෙකට අවුරුද්ද මුලදී පාසැල් පොත් බෑගයකුයි අවුරුද්දටම ඇති වෙන්න අභ්‍යාස පොතුයි සපත්තු දෙකකුයි අරන් දෙනවා”

    අගහිඟකම් වලින් මිරිකිලා අපි ගතකරපු පාසැල් ගිය පුංචි කාලේ . . මේ බඩු ටික අරන් දෙන්න අම්මා විඳපු දහදුක මතක් වුනු (සමහර අවුරුදු වල අම්ම රුපියල් දහය දහය එකතු කරල ගත්තු සාරි එහෙමත් විකුනුවයි කියලා මතකයි ) මම ඒ වෙලාවෙම තීරණය කලා මමත් මේකට සම්බන්ධ වෙනවා කියලා . .

    මම නිතරම දුමීටයි ජෝර්ජ් අයියටයි පින් දෙනවා මාවත් මේ වැඩේට හවුල් කර ගත්තාට.

    හිටපු ගමන් පොඩ්ඩක් හිත අප්සට් ගිය වෙලාවට මේ ගැන මතක් කලාම “කවුරු හරි දරුවෙක් මගේ දවසක දිරම නිසා සතුටින් ඉස්කෝලේ යනවා ඇති නේද .. . කවුරුහරි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දරුවට පොත් පත් බෑග් එකක් එක සපත්තු දෙක ලැබුනු නිසා සැනසුම් සුසුම් හෙලනවා ඇති නේද” කියලා හිතුවාම අර අප්සට් ගතිය කොහේ ගියාද නැති වෙලා හිතට පුදුම සනීපයක් දැනෙනවා මචං . . .

    • October 11, 2011 12:58 pm

      අනිවා මචං…
      මතකද කැප්ටන් ඇහුව.. හිල් තියෙන මේස් දාගෙන ඉස්කෝලෙ ගියෙ නැති කෙනෙක් ඉන්නවද කියල… අපිට ඒව මතක නම් .. අපි කරන පුංචි දේකින් අසරණ දරුවෙකුගෙ ජීවිතේ කොයි තරම් වෙනසක් කරන්න පුළුවන්ද කියන එකයි මම එදා තේරු ගත්තෙ…

  3. October 10, 2011 2:28 pm

    “අලුත් කාර් එකකින් ඇවිත් මට කාර් එක අඳුරගන්න බැරි වෙලා පොඩි කේස් එකකුත් වුණා ”

    අනිත් දවසෙත් නම් උඹ බලන්න එන්න කලින් කොහොම හරි කාර් එක හෝදගෙනමයි එන්නේ . . යකෝ මෙහෙම කතන්දර අහන්න පුලුවන්ද . . හික්ස්

    • October 11, 2011 1:00 pm

      නෑ ඉඳල හිටල හේදුවහම ඇති… දෙවේලෙ දකිනකොට කරමලෙත් සුදුයි කියනවනෙ…

      තැන්කූ.. මචං මාව එක්කයන්න ආවට ඈ..

  4. October 10, 2011 2:38 pm

    ඔය කියන තැනට එන්ට පුලුවන් වෙන්නේ මිනිස්කම ඉක්මවා ගිය අයට පමනක්ද?

    @දුකා,

    මම ඇත්තටම හිතුවේ ඔයා අලුත් කාරෙකක් අරගෙන කියලයි…:D

    • October 11, 2011 1:03 pm

      නෑ පොඩ්ඩි… ඕනම කෙනෙකුට ඕනම තත්වෙක ඉඳගෙන තමන්ට වඩා අමාරුවෙන් ජීවිත තරඟය දුවන කෙනෙකුට උදව් කරන්න ඇහැකි කියන් එකයි මම තේරුම් ගත්තෙ..

      ඔයා නම් මොකද මම හිතුවෙත් අලුත් කාරෙකකින් ඇවිත් කියල .. 😀

  5. Luckey permalink
    October 10, 2011 2:53 pm

    බොහොම පින් සපා තොරතුරු කිව්වට..දුකාටත් ස්තුතියි ඔත්තුව දුන්නට…
    මුණගැහෙන්න තිබුන අවස්තාව මග හැරුන එක ගැන නම් දුකයි. ඒත් මේ වගෙ උතුම් කටයුත්තක් ගැන දැන ගන්න ලැබුන එක සතුටට කාරණයක්.

    ඇත්තටම අගය කල යුතු සත්කාරයක්. මටත් මේ සඳහා දායක වීමේ කැමැත්තක් ඇතිවුනා..වෙබ් අඩවිය හරහා සොයා බලන්නම්.

    • October 11, 2011 1:06 pm

      ඔව් ලකී.. හරිම වටින වැඩක්…

      අපි එදා යද්දිම ඔබතුමා ගැන කතාවුණා.. දුකා ලඟ තිබුණ ෆෝන් නම්බර් එක නැතිවෙලා මහිතෙ අපිට ක්න්ටැක්ට් කර ගන්න බැරිවුණා..

  6. October 10, 2011 3:21 pm

    ගොඩක් ස්තූතියි සපතේරු උන්නැහේට මේ සටහන තැබුවාට. එද ගොඩක් කාර්ය බහුල වෙලා තිබුනු නිසා හරියකට කතාබස් කරන්නවත් ලැබුනේ නෑ.

    අපේ පෙරමුණේ රාළ වෙන ජෝර්ජ් අයියා නිසා අපිට මේ වගේ මහඟු කාර්ය්‍යන්වලට සම්භන්ධ වෙන්න පින ලැබිලා තියෙනවා.

    මෙතන තියෙනවා සපතේරු කියපු “තිලක” ගෙවත් පහලගෙදර ජයතිලකගේ කතාව.

    http://www.thesundayleader.lk/2011/07/17/how-many-roads-must-a-man-walk-down/

    මේ තියෙන්නෙ කැප්ටන් එල්මෝ ජයවර්ධන එක්ක යා ටී.වී එක කරපු සම්මුඛ සාකච්ඡාවක්.

    http://vimeo.com/26718141

    • October 11, 2011 1:13 pm

      නෑ.. නෑ අපි ඉතින් දැක්කනෙ කොයි තරම් බිසිද කියල.. ඒ වගේම වැඩේ දශමෙක අඩුවක් නැතුව නූලට කෙරුනෙ ඔබතුමාලගෙ මහන්සිය නිසානෙ..

      වැඩිය කදේ දාගෙන ඉන්න නොලැබුනාට අර ගෙදරින් ගෙනාපු “අයිස් ටී” එක දීල ගිය එකම මදෑ… දුකයි මායි ඉතින් දුක බෙදාගත්ත… 😀

      හැබැයි අපි ඒ කලබල අස්සෙත් අම්මගෙන් නම් හොඳ ශාස්ත්‍රීය කරුණු ටිකකුත් ඉගෙන ගත්ත රාවණා යුගය හෙම ගැන…

      ඇත්තෙන්ම ඔබතුමාල මේ කරන සමාජ මෙහෙවර අගය කරන්නම ඕනෙ… ඒ වගේම ගම හාමිනේල ගෙ නිහඬ සහයෝගයත්…

  7. October 10, 2011 3:58 pm

    සපතේරු අයියලා ගත්ත මේ උත්සහය නම් අගේ කරන්න වටිනවවා. අතපය හතර තියෙන මිනිස්සු කරන වැඩ දිහා බැලුවම මේ මිනිස්සුන්ව අදහන්න වටිනවා.

    • October 11, 2011 1:15 pm

      ඇත්තටම මධුරංග මල්ලි මේක කරන්නෙ දුමී අයියල දුකා අයියල ඇතුලු ” අපේ කට්ටිය” කියල මෙහේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙ පිරිසක්… මම ඔය ගියේ පළවෙනි වතාවට…

  8. October 10, 2011 4:12 pm

    හිතන්න බොහෝ දේ ඉතුරු කරපු පෝස්ට් එකක් . උදව් අවශ්‍ය මිනිස්සු අප අතරම ඉන්නවා . අපට පෙනී නොපෙනී . බොහොම ස්තුතියි සපතේරු .

    • October 11, 2011 1:17 pm

      ඔව් බින්දි… පොතක් පැන්සලක් ගන්න බැරි.. බස් එකට සීසන් එක ගන්න බැරි දරුවො තාම ලංකාවෙ ඉන්නව… පුළුවන් දෙයක් කරමු..

  9. October 10, 2011 5:39 pm

    බොහොම ස්තූතියි සහෝ. මේවට එකතුවෙනවට වගේම එකතු කරගන්නවටත් පින් ලැබෙනව.ඒ නිසා මෙතන ගැන කිව්වට පින්.

    • October 11, 2011 1:22 pm

      ඉන්දික…මේක ලියපු එකේ අදහස ඒකයි… මේක කියවල එක්කෙනෙක් හරි එක් දරුවෙක් වෙනුවෙන් හරි උපකාරයක් කලොත් මගේ උත්සාහය සාර්ථකයි…

      ඔබතුමා මේ වගෙ දේට උනන්දු බව දන්නව.. නිකමට කැප්ටන්ව කන්ටැක්ට් කරල බලන්න… ඉතාම පැහැදිලි පාරදෘශ්‍ය භාවයක් තියෙන සංවිධානයක්…

  10. October 11, 2011 10:24 pm

    කැමතියි මමත් උපකාරයක් කරන්න ඒත් මට හැකි විදිහට . ඒත් කොහොමද ? මගේ පොඩි උපකාරය මෙතනට යන්තමින්වත් සෑහේද ? මම ලොකු වෙන් උපකාර කරන්න හැකි කෙනෙක් නොවුනත් අතේ තියන දේ හරි දීලා සතුටු වෙන්න හැකි කෙනෙක් අයියන්ඩි ..

    අදාල වෙබ් සයිට් එකට ගියත් මට මෙලව දෙයක් තේරුම්ගන්නත් බැරිය .

    • October 12, 2011 1:19 am

      නෑ මල්ලි … තමන්ට පුලුවන් තරමින් දෙයක් කලහම හොඳටම ඇති… මේ සංවිධානය හරහම වෙන්න ඕනැ නෑ… ඔයා ඉන්න පලාතෙ හැටියට ඔයා වට පිට බැලුවොත් උදව් ඕනැ අය ඕනතරම් ඇති… ඔයාට පුලුවන්නම් එක අමාරු ලමයෙකුට හැම මාසෙම සීසන් එකක් අරන් දෙන්න ඒක කරන්න… ඒ ඇති.. ඒ වගේම තව ඔයා වගේ කෙනෙක්ව එහෙම දෙයක් කරන්න උනන්දු කරවන්න… ( මම උදාහරණයක් කිව්වෙ )

  11. October 15, 2011 10:16 am

    බොහොම හිතට දැනෙන කතාවක්. යුද්ධෙදි තමන්ට පුරුදූ දකුණු අත අහිමි වෙච්චි දරුවෝ වම් අතින් මූල ඉඳන් ලීයන්න ඉගෙන ගනිද්දී … ඔහොමම හිතූනා. හැමදේම හොඳටම තිබිලත් සුලු දේවල් වලට නෝක්කාඩු කියන අයට හොඳ පාඩම..ස්තූතියි

  12. October 22, 2011 11:34 am

    ඔයා මේ කියන තිලක නමින් හඳුන්වන කෙනවා මම දන්නවා.. එයා ගැන කියවලත් තියෙනවා
    එයාගේ පශ්චාත් උපාධිය සම්පුර්ණ කලාට පස්සේ, එයා ගැන පත්තරෙයි තව මුහුණු පොතේ එහෙමත් විස්තර ගියා,
    ඒ අම්මට අද කොච්චරනම් සතුටු ඇද්ද…
    ඔයාල කරන මේ වැඩේ ගොඩක් උතුම්…

    • October 27, 2011 12:38 pm

      මම නම දැම්මෙ නැත්තෙ ඒ ගැන කාගෙන්වත් විමසීමක් නොකල නිසා.. දුමීගෙ කොමෙන්ටුවෙ තව විස්තර තියෙනව…

  13. October 25, 2011 11:05 pm

    මොකක් ගැනද මේ කථාවෙන් කියවෙන්නේ?

    • October 27, 2011 12:42 pm

      ආයුබෝවන් යහපත් ඇනෝ…

      ගොඩක් දේ කියවෙනව..

      එකක් ..කාට හරි උදව්වක් කරන්න තමන් සර්ව සම්පූර්ණ වෙනකම් ඉන්න ඕනෙ නෑ.. තමන් ඉන්න තත්වෙක ඉඳන් ඒක කරන්න පුළුවන් කියන එක…

      මේ පැත්තෙ ආවට ස්තුතියි… !

  14. October 28, 2011 1:20 pm

    සපතේරු,
    ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් පල කරල ඔවුන් ගැන දැනුවත් කලාට. මමත් හිතාගත්තා හැකි දෙයක් කරන්න.
    අපි මොන මට්ටමක හිටියත් තවත් කෙනෙක්ට කිසියම් ආකරයක් උදව්වක් උපකාරයක් කරන්න බැරිකමක් නෑ.

  15. November 1, 2011 9:11 am

    නවම් මාවත සහෝදරයට කියන්න ඕනා. එයාගේ අලුත්ම සටහනේ එයා පොරක් හොයනවා.. මෙන්න පොරවල්..

  16. November 1, 2011 5:48 pm

    සරත් අයිය තමයි මතක් කලේ මෙතන පොරක් ඉන්නව කියල. බලං ගියාම එක පොරක් නෙමෙයි පොරවල් ගොඩක් ඉන්නවනෙ.

    බොහොම අගේ ඇති වැඩක්. මම නම් මීට ටික දොහකට කලින් දුකාගෙ පෝස්ට් එකකින් ජෝජ් අයිය මූලිකව කරන ප්‍රොජෙක්ට් ගැන පොඩ්ඩක් දැනගත්ත. ඒත් කැප්ටන් ගැන දැනගත්තෙ අදයි.

  17. November 20, 2011 1:20 am

    ?

  18. Hasitha permalink
    November 26, 2011 5:13 pm

    අයියලා කරන මේ වැඩේ නම් ඇත්තටම වටිනවා. නිකරුණේ තමන්ගේ සල්ලි නාස්ති කරන අය ඉන්න සමාජෙක මේ විදිහට එදිනෙදා සුලු මුදලක් ඉතුරු කරලා ඒකෙන් ලොකු වැඩක් කරන අයියලා අපිටත් ආදර්ශයක්.

  19. තරු permalink
    May 18, 2012 10:09 am

    අපිටත් ලොකු ආදර්ශයක්… මමත් හිතාගත්තා හැකි දෙයක් කරන්න…..ස්තුතිය් දැනුවත් කලාට….

මොනවම හරි හිතුනනම් කියල යන්න...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: